විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා නව නිවාස ව්‍යාපෘතියක්

විදේශගත ශ්‍රමිකයින් සඳහාම වෙන්වූ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ නිවාස සංවර්ධන අධිකාරිය එක්ව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

විදේශගත ශ්‍රමිකයන්ගේ අවශ්‍යතා අනුව නාගරික සහාධිපත්‍ය සහ ග්‍රාමීය තනි නිවාස ඒකක ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (16) නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී විදේශගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සම්බන්ධයෙන් සමීක්ෂණයක් ලබන සඳුදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එම තොරතුරු සති දෙකක් ඇතුළත ලබා ගැනීමට අපේක්ෂා කරන අතර, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල හරහා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා සමීක්ෂණය සිදු කිරීමට නියමිතය.

විදේශගත ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිවන නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව සහ නිවාස ඉදිකරන ප්‍රදේශ හඳුනාගන්නා බව විදේශ රැකියා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන් අනතුරුව නිවාස සංවර්ධන අධිකාරියට සහ රජයට අයත් හඳුනාගත් ඉඩම්වල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා ඇතුළු නිලධාරීහු මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *