වප් පුරපසලොස්වක පොහොය අදට(13) යෙදී තිබේ. බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේ උදෙසා වදාළ වස් පවාරණය ඇරඹෙන්නේ වප් පොහෝ දිනකයි. කඨිනය හැර වෙනත් ඕනෑම බෞද්ධ පූජෝත්සවයක් වර්ෂයේ නියම කරගත් දිනයකදී හෝ වර්ෂයේ කිහිප අවස්ථාවකදීම සිදුකළ හැකි වුවද කඨින පූජා පුණ්‍යොත්සවය සිදුකළ හැක්කේ එක් වර්ෂයක් තුළ එක් ස්ථානයකදී එක් වරක් පමණෙකි. වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි.
පෙර වස් විසූ උපසපන් භික්ෂූන් වහන්සේලා වස් පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය. බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්ය රාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස් කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය. මෙලෙස ශාසනික වශයෙන් අතිශය වැදගත් සිදු වීම් රැසක් අද දිනට යෙදී ඇත.
මීට අමතරව මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම, සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම, සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම, ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව, ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම ආදී ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මෙම වප් පොහෝ දින වැදගත් සිදුවීම් අතර වේ.
වප් පොහෝ දිනය නිමිත්තෙන් උතුම්වූ උපෝසථ සීලය සමාදන් වීම, දාන, සීල, භාවනාමය වැඩසටහන් ආදිය සංවිධානය කිරීම ආදී පිංකම් රැසක් දිවයින පුරා විහාරස්ථාන රැසක අද දිනය පුරා සිදුකිරීමට නියමිතය.