LK reports news sinhala

ලොව කුඩාම ග්‍රන්ථය ඇති ලොව ලොකුම ‍පුස්තකාලය

ලොව ලොකුම පුස්තකාලය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභාවට අනුබද්ධවය. එය හඳුන්වනු ලබන්නේ Library of Congress යන නමිනි. ලොව විශාලතම පුස්තකාලයේ පොත් හා විවිධ ලිපි ලේඛන මිලියන 167කට ආසන්න සංඛ්‍යාවක් ඇත.

මීට වසර 218කට පෙර ‍1800 වසරේ අප්‍රේල් මාසයේදී මෙම පුස්තකාලය නිල වශයෙන් ආරම්භ වී ඇති අතර පිලඩෙල්ෆියාහි තාවකාලිකව එය ඇරඹිණි. එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පියා ලෙස සැලකෙන ජේම්ස් මෙඩිසන්ගේ යෝජනාවක් අනුව මෙය වොෂින්ටන්හි ස්ථාපිත කෙරිණි. ඒ කොංග්‍රස් සභිකයන්ගේ ප්‍රයෝජනය සඳහාය.

මෙහි පොත් හා ලිපි ලේඛන තැන්පත් කර ඇති රාක්ක එකින් එක පෙළ ගැසූවිට එහි දිග සැතපුම් 535කට වඩා වැඩිවේ. එයින්ම‍ සමහි විශාලත්වය සිතාගත හැකිය. පොත් පමණක් මිලියන 38 ඉක්මවා ඇති කොංග්‍රස් පුස්තකාලයේ පොත් හැරුණු විට අනෙකුත් මුද්‍රිත සඟරා ආදිය මිලියන 3.6කි. ලෝකයේ ඉතා විරල සිතියම් පමණක් මිලියන 5.5ක් මෙම පුස්තකාලයේදී දැකගත හැකිය. පුරාණ ලේඛන 6000කට ආසන්න සංඛ්‍යාවක් කොංග්‍රස් පුස්තකාලයේ ඇති අතර එහි අත් පිටපත් මිලියන 70කට ආසන්න ප්‍රමාණයක් ඇත.

1812 වසරේ බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අතර යුද්ධයේදී කොංග්‍රස් පුස්තකාල‍යට දැඩි හානි සිදුවූ අතර විනාශ වී ගිය පුස්තකාලය නැවත පිහිටුවීමට ඇමරිකාවේ නිදහසේ නායකයා මෙන්ම තෙවැනි ජනපතිවරයා වන තෝමස් ජෙෆර්සන්ට හිමිව තිබූ ග්‍රන්ථ 6487ක් පුස්තකාලයට හිමිවිය. නමුත් කෙමෙන් යළි ගොඩනැගුණු පුස්තකාලය හදිසි ගින්නක් හේතුවෙන් 1851 වසරේදී විනාශ විය. යළිත් සියලු බාධක හමුවේ නව ජීවයකින් කොංග්‍රස් පුස්තකාලය පණ ගැන්වෙනුයේ ඇමරිකා සිවිල් යුද්ධය අවසානයේදීය.

එතැන් සිට පුස්තකාලය මනාව සංවර්ධනය වෙමින් නවතම පොත්, සඟරා, ඡායාරූප සහිතව ලොව විශාලතම පුස්තකාලය බවට පත්විය. මෙහි ප්‍රධාන ගොඩනැගිල්ල රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකර ඇති අතර මෙහි චිත්‍ර නිර්මාණයට මෙන්ම ගෘහ නිර්මාණ සඳහාද කලාකරුවන් 50ක් පමණ දායකවී ඇත.

කොංග්‍රස් පුස්තකාලයේ පොත් හෝ ලිපි ලේඛන පිටතට ගෙනයාම පාඨකයින්ට තහනම් වන අතර විශේෂ අවශ්‍යතා පරිදි ඒවා පරිහරණය කිරීමේ අවස්ථාව ලබාදී තිබේ. පුස්තකාලයේ සාමාජික සංඛ්‍යාව 535ක් වන අතර සංගීත තැටි, කැසට් පට ආදියද මෙහි දක්නට ලැබේ.

කොංග්‍රස් පුස්තකාලයේ දක්නට ලැබෙන සුවිශේෂී දේ අතරින් ලොව නිපදවූ මුල්ම චලන චිත්‍රපටයේ පිටපත, මුද්‍රණයේ ආරම්භයේ අත්හදා බැලූ පිටපත්, පළමු ගුටෙන්බර්ග් බයිබල් තුනෙන් එකක්, ලොව කුඩාම ග්‍රන්ථය (OLD Kiacole) යනාදිය වේ.

මේ සඳහා දිනපතා එළිදක්වන ග්‍රන්ථ, චිත්‍රපට, පුවත්පත්, සඟරා, ගී තැටි ආදිය 31,000ක් පමණ ලැබෙන අතර පුස්තකාලය සතු පොත්පත් සඟරාවලින් හතරෙන් තුනක්ම විවිධ භාෂා 470කට පමණ අයත් ‍ඒවා වේ.

කොංග්‍රස් පුස්තකාලයේ අක්කර 2ක බිම්කොටසක ඉදිකර ඇති කුවිනට්ස් කොටසේ කෝටි 4ක සිතියම් තැන්පත් කර ඇති අතර නව කෝටියක් පමණ වටිනා ඡායාරූප හා දළ සේයාපටද තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *