ලොරි චැසි වලට සවිකල බස් ආනයනය නොකිරීමට පියවර

මින් පසු ලොරි චැසිවලට සවිකරන ලද බස් රථ ශ්‍රී ලංකාවට ආනයනය නොකරන්නැයි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවට බස් රථ ආනයනය කිරීමේ දි මගී පහසුව පිණිස ඉවහල් වන පහත් පතුල් සහිත හෙවත් Low Floor Bus හා පහසුකම් සහිත බස් රථ පමණක් ආනයනය කරන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (08) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී තමන්ට උපදෙස් ලබා දුන් බව ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පැවසීය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහණය සඳහා යොදා ගන්නා බස් රථ බොහෝ ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහා උචිත නොවන අතර, ලොරි චැසිවලට බස් බොඩිය ස්ථාපනය කර මගින්ගේ භාවිතයට යොදවනු ලැබේ.

වර්තමානයේ මෙරට මාර්ග පද්ධතිය 75% කට වඩා කාපට් අතුරා ඇති බැවින් නාගරික ප්‍රදේශවල හා දුර ගමන් සේවා සඳහා උචිත, මගීන්ගේ ගමන් පහසුවද සැලසෙන ප්‍රමිතියෙන් යුත් බස් රථ පමණක්ම ආනයනය කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම තීරණය පුද්ගලික හා ලංගම බස් රථ සඳහා ද අනිවාර්ය කෙරෙන අතර මගී පහසුව පිණිස හා පුද්ගලිකව භාවිතා කරන වාහන විශාල ප්‍රමාණයක් දිනපතා මාර්ග පද්ධතියට ඇතුලත් වනු ලබන්නේ පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් හා විධිමත් නොවීම නිසා බැවින් යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන් බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තිය සමිති හා නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *