රාජ්‍ය ආයතනවල අධීක්ෂණය ශක්තිමත් කිරීම, විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීම සහ පුහුණු දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම ඇතුළු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ කාරක සභාව ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු සම්බන්ධයෙන් සවිස්තරාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.
කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නොසිටි බැවින්, ස්ථාවර නියෝග යටතේ තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, නිශාන්ත ජයවීර සහ කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මියද රැස්වීමට සහභාගි වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා මාර්ගගතව එක්විය.
විගණන කටයුතුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතය තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය. තාක්ෂණික පරිවර්තනය තුළින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳ අධීක්ෂණය වඩාත් ශක්තිමත් කළ හැකි බවද මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
පුහුණුව ලැබූ දක්ෂ විගණන නිලධාරීන් වෙනත් ක්ෂේත්‍ර වෙත මාරු වීම හේතුවෙන් එම නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමුවිය.
අත්දැකීම් සහිත විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමයක් හඳුන්වාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.
රාජ්‍ය ආයතනවල පවතින අභ්‍යන්තර පාලන පද්ධතිවල දුර්වලතා සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ අතර, විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරීන් සතු බව අවධාරණය කෙරිණි.
සමෘද්ධි බැංකුවේ විගණන කටයුතු සිදු කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද අවධානය යොමු වූ අතර, එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා උපායමාර්ගික සහ නීතිමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට යෝජනා ඉදිරිපත් විය.
විගණන ක්‍රියාවලිය නවීකරණය කිරීම සඳහා පැහැදිලි ප්‍රතිඵල මත පදනම් වූ සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කමද කාරක සභා සාමාජිකයෝ පෙන්වා දුන්හ. ඒ සමඟම කාර්ය මණ්ඩලය සහ සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.
ජාතික කාන්තා කොමිසමේ සාමාජිකයන්ගේ දීමනා ගැනත් අවධානය
මේ අතර, කාන්තා සවිබලගැන්වීමේ පනත යටතේ ස්ථාපිත ජාතික කාන්තා කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් සඳහා මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවක් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවිය.
කොමිසමේ සියලුම සාමාජිකයන් සහභාගි වූ මෙම සාකච්ඡාවේදී, එහි වත්මන් කටයුතු, ඉදිරි සැලසුම් සහ කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, පැමිණිලි විමර්ශනය කිරීම සහ නීති ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කොමිසමට පැවරී ඇති වගකීම් පිළිබඳව සමාලෝචනය කෙරිණි.
කොමිසම පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, කාර්ය මණ්ඩලය සහ පරිපාලන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
කොමිසමේ අවම වශයෙන් සාමාජිකයන් තිදෙනෙකු පූර්ණ කාලීනව සේවය කළ යුතු බව කාරක සභාව සඳහන් කළ අතර, වත්මන් දීමනා ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව පූර්ණ කාලීනව සේවය කරන සාමාජිකයන් සඳහා අතිරේක දීමනා ලබාදීම පිළිබඳව නැවත සලකා බලන ලෙස කාරක සභාව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.


