අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් කණ්ඩායමක් සෙනසුරාදා පෙරවරුවේ පාර්ලිමේන්තු පාරේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ නිවසට ගොස් තිබේ.
වාර්තා වන පරිදි, විමර්ශනයකට අදාළව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබියදී කරුණානායක මහතා එහි පෙනී නොසිටීම හේතුවෙන් නිලධාරීන් ඔහුගේ නිවසට ගොස් තිබේ.
කෙසේ වෙතත්, කරුණානායක මහතාගේ මාධ්‍ය කණ්ඩායම සඳහන් කළේ මන්ත්‍රීවරයා හිතාමතාම අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම මඟහැර නොමැති බවයි.
මන්ත්‍රීවරයාගේ මාධ්‍ය කණ්ඩායමට අනුව, කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරුණානායක මහතාට දැනුම් දී තිබුණද, නියම කර තිබූ දිනයේදී ඔහුට පෙනී සිටීමට නොහැකි වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් වෙනත් දිනයක් ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලා තිබේ.
ඉදිරි දිනයකදී කරුණානායක මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බවද ඔහුගේ නීතිඥවරුන් සඳහන් කර ඇත.
කරුණානායක මහතා කොළඹ නොසිටි බව අනාවරණය වීමෙන් අනතුරුව CIABOC නිලධාරීන් ඔහුගේ නිවසින් පිටව ගොස් තිබේ.


