LK reports news sinhala

රටක් වටින මහැදුරු කාලෝ දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ වෛද්‍ය, ශාස්ත්‍රීය හා දේශපාලන ක්‍රියාකාරිකයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(2) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 86වැනි වියේ පසුවිය.

කාලෝ ෆොන්සේකා මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපතිවරයෙක් වන අතර ඒ මහතා 2012 වසරේ සි‍ට 2017 දක්වා වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

ට්‍රොට්ස්කිවාදී සම සමාජ පක්ෂයේ සාමාජිකයෙක්ද වන කාලෝ ෆොන්සේකා මහතා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ දැඩි විවේචකයෙකු වූ අතර 1980 දශකයේ මුල් භාගයේදී හා පසුගිය වසර කිහිපයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට එරෙහි සටනේ පුරෝගාමියකු විය.

අවිද්‍යාව මූලික කරගත් අදහස් වලට ප්‍රබල පහරදෙන්නෙකු වූ ඔහු මිත්‍යා දෘෂ්ටිකයින්ගෙන් සමාජය මුදවාගැනීමේ මෙහෙවරෙහි නිරත වූ සමාජයේ ගෞරවයට පාත්‍රවූ චරිතයක් විය.

මීගමුව මාරිස්ටෙලා හා මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලවල ආදි සිසුවකු වන කාලෝ ෆොන්සේකා මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තම විශ්ව විද්‍යාල ජීවිතය ඇරඹූ අතර සිය පශ්චාත්  උපාධිය සම්පූර්ණ කරන ලද්දේ එංගලන්තයේ එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙනි.

ඒ මහතා ග්‍රන්ථ කර්තෘවරයෙකු මෙන් ම ප්‍රකට ගීත රචකයෙකි. ඒ මහතා රචනා කළ ගී අතරින් රත්තරන් දුවේ මගේ රත්තරන් දුවේ හා රුදුරු තුරු වදුලේ ගීත බෙහෙවින් ජනප්‍රියය. මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයකුවූ විජය කුමාරතුංග හා රන්ජන් රාමනායක යන කලාකරුවන්ගේ ළඟම ඥාතියකුද වන කාලෝ ෆොන්සේකා මහතා සිය අවසන් කාලයේද සමාජයේ විවිධ වැඩසටහන්වලට දායකත්වය ලබා දුන්නෙකි.

(Image – Daily Mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *