යාපනයේ ඩෙංගු හිස ඔසවයි

උණ රෝගය වැළදී රෝහල් ගත කළ යාපනය විශ්වවිද්‍යාලීය සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් ආරංචි මාර්ග පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසර අධ්‍යාපනය ලැබූ ගුණරත්නම් සුබීනා නමැති සිසුවියක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඩෙංගු උණ රෝගය වැලඳුන සිසුවිය යාපනය තෙලිප්පලෙයි රෝහලට පළමුව ඇතුළත් කොට ඇති අතර, එහිදි වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවිය මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී සිදුකොට ඇති අතර, ඩෙංගු උණ රෝගය සමඟ හටගත් සංකූලතාවයකින් ඇය මියගොස් ඇති බවට අනාවරණය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

යාපනය රෝහල තුළ මේ වන විට ඩෙංගු රෝගීන් 114 දෙනෙකු නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් ඇතුළත්ව ඇති බව යාපනය රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති මහතා කියා සිටියේය.

පැවති වැසි තත්ත්වය සමඟ යාපනය දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන අතර, තමන් අවට පරිසරය පවිත්‍රව තබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටද රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීම් කළහ.

යාපනය දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ හා පළාත් පාලන අංශ ප්‍රධානීන් අතර සාකච්ජාවක්ද පසුගියදා පැවැත්වුණි.

එහිදි යාපනය දිස්ත්‍රික්කයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසටද ආණ්ඩුකාරවරිය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *