කොරෝනා

මියගිය මෝදර කාන්තාව මාසයක පමණ සිට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරලා

කොරෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දිනයේ මියගිය මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවට මාසයකට ආසන්න කාලයක සිට රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇතත් ප්‍රතිකාර සදහා යොමුවී නොමැති බවට වාර්තා වේ.

ශ්වසන ආබාධයක් හේතුවෙන් ඇය පසුගිය අප්‍රේල් මස 26 වෙනිදා එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබෙන බවට තොරතුරු අනාවරණය වේ. අනතුරුව රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා පසුගිය 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙන අතර එහිදී කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා වෛද්‍යවරුන් සිදුකළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ.

මෙම කාන්තාව මෝදර ප්‍රදේශයෙ පදිංචිකාරියක් වන අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී ෂෙහාන් අතුකෝරළ ප්‍රකාශ කර සිටින්නේ ඇයට එම වෛරසය ආසාධනය වුයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තවමත් තහවුරු වී නොමැති බවයි. එමෙන්ම මෙම කාන්තාවගේ සැමියා එම ප්‍රදේශය ආශ්‍රිතව ත්‍රිරෝද රථයකින් බේකරි නිෂ්පාදන අලෙවි කර ඇති බවට වාර්තා වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියා සිටියේ.

මේ වන විට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයින් 06 දෙනෙක්ද එම කාන්තාව රෝහල් කරා රැගෙන ගිය අසල පිහිටි මහල් නිවසක පුද්ගලයෙක් ඇතුළු සාමාජිකයින් 09 දෙනෙක් PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බවයි මෝදර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

එමෙන්ම මෙම කාන්තාව ප්‍රතිකාර ගත් පුද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු හඳුනා ගෙන තිබෙන අතර ඒ පිරිස ඇතුළුව අද (06) දිනයේ සිට මෙම කාන්තාව ජිවත්වු මෙත්සඳ මහල් නිවාස ආශ්‍රිතව අහඹු ලෙස පුද්ගලයින් ගෙන් PCR පරීක්ෂණ සඳහා නියැදි ලබා ගැනීම සිදුකරන බවත් සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *