ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති එම කාරක සභාවේ මෑත රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.
පළාත් සභා මැතිවරණයට අදාළ නීති හැර අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙම කාරක සභාවේ වගකීම වේ.
රැස්වීමේදී 2004, 2007 සහ 2022 වසරවල මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභා විසින් ඉදිරිපත් කළ වාර්තා මෙන්ම පුද්ගලයන් සහ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ යෝජනා 31ක්ද සමාලෝචනය කර තිබේ.
පළාත් පාලන මැතිවරණ සඳහා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම, සුළු පක්ෂ සහ සුළු ජන ප්‍රජාවන්ට නියෝජනය සහතික කිරීම, කාන්තා නියෝජනය ඉහළ නැංවීම, ඉලෙක්ට්‍රොනික ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීම, කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම සහ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු යෝජනා රැසක් මෙහිදී සාකච්ඡා කර ඇත.
යෝජිත ඇතැම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලන රාමුව පිළිබඳ තවදුරටත් අධ්‍යයනයක් අවශ්‍ය බවද කාරක සභාව සඳහන් කර තිබේ.
අලුතින් පත් කළ විශේෂඥ කමිටුව විසින් යෝජනා 31 මෙන්ම මීට පෙර පාර්ලිමේන්තු කාරක සභා ඉදිරිපත් කළ නිර්දේශද අධ්‍යයනය කර ප්‍රායෝගික නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එම වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීමට මැතිවරණ නීති සමාලෝචනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව කටයුතු කරනු ඇත.
කාරක සභා සාමාජික අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, රුවන්තිලක ජයකොඩි සහ කදිරවේලු ශන්මුගම් කුගදාසන් යන මහත්වරුද මෙම රැස්වීමට සහභාගී වූහ.


