LK reports news sinhala

මැතිවරණ කොමිසමේ සභාපතියි සාමාජිකයකුයි මත ගැටුමක – මාධ්‍ය හමුවේ පරස්පර අදහස් කියයි

මැතිවරණ කොමිසන් සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එම කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජිවන් හූල් යන
අය අතර මත ගැටුමක් ඇතිවිය. මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ශ්‍රී ලංකාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය යල්පැනගිය එකක් බව ප්‍රකාශ කළ අවස්ථාවේ ඔහුත් සමග අනෙක් පසින් වාඩිවී සිටි සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේය.

මහාචාර්යවරයාට ඡන්ද හා මැතිවරණ ගැන අත්දැකීම් නැති බවද, ඔහුගේ පෞද්ගලික මතය මැතිවරණ කොමිසන් සභාවේ මතය නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා කීවේය. මීට ඉහතදී මහාචාර්ය රත්නජිවන් නූල් මහතා මාධ්‍යයක ලිපියක් පළකරමින් මෙවර ජනාධිපතිරණයේදී කිසිදු අපේක්‍ෂකයකුට සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි යැයි ප්‍රකාශ කර ඇති බවද එම ප්‍රකාශයත් මැතිවරණ කොමිසම නොපිළිගන්නා බවද දේශප්‍රිය මහතා පැවසීය.

මැතිවරණ කොමිසන් සභා පරිශ්‍රයේ මාධ්‍ය හමුවේදී මහාචාර්ය හූල් මහතා මාධ්‍යවේදීයකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරට ඡන්ද ප්‍රකාශ කරන ක්‍රමය යල්පැන ගිය එකක් බවත් මේ වනවිට ලෝකයේ දියුණු රටවල ඡන්දය ප්‍රකාශ කරනු ලබන්නේ අන්තර්ජාලය හරහා බවත්ය. ඒ අවස්ථාවේදී ආවේගශීලී වූ මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ මහාචාර්යතුමාගේ අදහස කොමිසමේ අදහස නොවන බවයි. එය ඔහුගේ පෞද්ගලික මතයක් බවත් අපේ ඡන්ද ප්‍රකාශ කරන ක්‍රමය යල්පැන ගිය එකක් යන්න මැතිවරණ කොමිසම් ඇදහස නොවන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ කියා සිටියේය.

“ මම අවුරුදු 34ක් ඡන්ද කරපු නිලධාරියෙක්. මහාචාර්යතුමාට ඡන්ද ගැන අත්දැකීම් නැහැ. මහාචාර්ය හූල් මහතා එක්තරා ලිපියක් ලියමින් කියා තිබෙනවා මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂිකයකුට සියයට 50ක් ගන්න බැහැ කියලා. ඒක මැතිවරණ කොමිසමේ අදහස නොවේයි.  ඒකත් එතුමාගේ පෞද්ගලික අදහසක්. මා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස කොමිසමේ සාමාජිකයින් කරන දේවලත් වගකීම බාරගත්තා. කාගෙන් වුණත් යම් වරදක් වුණොත් සභාපති ලෙස මා නිහතමානීව සමාව ගන්න කෙනෙක්.  මහාචාර්ය හූල් මහතා ස්වාධීනව කටයුතු  කරන කෙනෙක්. එතුමා කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට හෝ පක්ෂග්‍රාහී නැති බව මම වගකීමෙන් කියනවා“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *