මහ මග චණ්ඩි රිමාන්ඩ් : වීඅයිපී ලොක්කා කට්ටිපනී

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේනේදී වෑන් රථ රියදුරකුට තර්ජනය කර වෑන් රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 22 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට  වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය.

එදිනම හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කෙරුණු අතර සිද්ධිය සම්බන්ධ ඩිෆෙන්ඩර් රිය මහරගම ඇල්හේන නිවසක තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

හබරාදුව පදිංචි ව්‍යාපාරිකයකු පවුලේ අය සමග නුවර බලා ගමන් කරමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයකට හා ප්‍රාඩෝ රථයකට ඉස්සර කර යාමට ඉඩ නොදුන්නැයි උරණ වී වෑන් රියේ මග හරස්කර රියදුරුට තර්ජනය කරමින් පහරදීමට උත්සාහ කරන අයුරු සීසීටීවී කැමරාවල සටහන් වී තිබිණි.

අදාළ ප්‍රාඩෝ රියේ හිමිකරු ඉංගිරියේ පදිංචි මෙරට ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංගගේ බව පොලිසිය සොයාගෙන තිබූ අතර අනෙක් ඩිෆෙන්ඩරය ද ඔහුගේ සොහොයුරකුගේ බව වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් දිනේෂ් නුවන් අමරතුංග මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ තල්ගස්දොල් මාදම්පිටිය පදිංචි සඳුන් පුෂ්පකුමාර (44), කලුතර කිතුලෑව ලාගොස්වත්ත පදිංචි මාකස් පීටර් රුවන් ප්‍රසන්න (26), මතුගම බදුගම පදිංචි ගාමිණී විජේසූරිය (45) හා පොලොන්නරුව අරලගන්විල පදිංචි ප්‍රසන්න බණ්ඩාර යන අයයි.

(උපුටා ගැනීම – ලංකාදීප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *