මන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු පිපිඤ්ඤා අස්වැන්නක් ලබා ගත් 09ක් අත්අඩංගුවට…

මන්නාරම ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු පිපිඤ්ඤා නෙලාගත් පුද්ගලයින් 09 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම, අච්චන්කුලම් ඔබ්බෙන් ඊයේ (05) අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

කිමිදුම් ආම්පන්න, ඩිංගි යාත්‍රා 01ක් සහ නීතිවිරෝධී ලෙස අස්වැන්න නෙළන ලද මුහුදු පිපිඤ්ඤා 168ක් ද මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

විවිධ ආකාරයේ නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා දිවයින වටා වෙරළබඩ සහ මුහුදු ප්‍රදේශවල නිරන්තර මෙහෙයුම් සිදුකරන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 58 ත් අතර වයස්වල පසුවන මන්නාරම – වන්කාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ ඔවුන්ගේ භාණ්ඩ නීතිමය කටයුතු ආරම්භ කිරීම සඳහා මන්නාරම ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මේ අතර, නාවික හමුදාව විසින් 2022 වසරේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 126 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මුහුදු පිපිඤ්ඤා 18,369ක් සන්තකයේ තබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *