මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම යටතේ තවත් ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට

ඊයේ (02) රාති‍්‍රයේ දංකොටුව කිරිමැටියාන ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 360 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් අනාවණයක කරගත් තොරතුරු මත යතුරුපැදියකින් හෙරොයින් කිලෝ 02 යි ග‍්‍රෑම් 232 ක් ප‍්‍රවාහනය කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. අනතුරුව අදාළ සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී අනාවරණ කරගත් තොරතුරු අනුව කිරිමැටියාන ප‍්‍රදේශයේ නිවෙසක් තුළ සඟවා තිබූ හෙරොයින් කිලෝ 13 යි ග‍්‍රෑම් 405 ක් සමග තවත් පුද්ගලයෙකු සහ ඔහුට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ එම සැකකරුවන් කිරිමැටියාන සහ කොස්වත්ත යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මීට අමතරව පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී ත‍්‍රීරෝද රථයකින් හෙරොයින් ග‍්‍රෑම් 504 යි මිලිග‍්‍රෑම් 250ක් ගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැළණිය වනවාසල දුම්රියපළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සතුව තිබූ රුපියල් දෙලක්ෂ 89,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර එම සැකකරුවන් බොරැල්ල සහ මාළිගාවත්ත ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි පෑලියගොඩ පොලිසිය සඳහන් කරන්නේ.

මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට මත්ද්‍රව්‍ය සපයන ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට සැලකෙන තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිළධාරින් විසින් දෙමටගොඩ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු හෙරොයින් ග‍්‍රෑම් 300ක් ත‍්‍රීරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

තවද හෙරොයින් කිලෝ 15 යි ග‍්‍රෑම් 997 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ.

මේ අතර අද උදෑසන 05 න් අවසන් වූ ගත වූ පැය 23 ක කාලය තුළදී බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් කි‍්‍රයාත්මක විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 404 දෙනෙකු බස්නාහිර පළාතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 183 දෙනෙකුද, ගංජා සමග සැකකරුවන් 95 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව නීතීවිරෝධී මත්පැන් බෝතල් 377 ක් සමග සැකකරුවන් 83 දෙනෙකු ද එම වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *