බැංකු පොලිය, වාහන, වෘත්තිකයන් සහ ඩිජිටල් සේවා බදු: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිරකළ බදු ප්‍රතිපත්ති ගැන මානව හිමිකම් කේන්ද්‍රයෙන් විශේෂ ප්‍රකාශයක්

නව රජය බලයට පත්වීමෙන් පසු ගතවූ වසර දෙකක කාලය තුළ හඳුන්වා දෙන ලද බදු සංශෝධන 12ක් හේතුවෙන් රටේ සියලුම ආදායම් මට්ටම්වල ජනතාව මත පැටවී ඇති බදු බර දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කරයි.
නොවැම්බර් 01 වැනි දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, මෙම බදු සංශෝධනයන් ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය මෙන්ම මාර්ගගත (Online) ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර රැසකට සෘජුවම අහිතකර ලෙස බලපා ඇති බවයි.
මෙම අඛණ්ඩ බදු පැනවීම් හේතුවෙන් උද්ධමනය ඉහළ යාම, මූල්‍ය ගනුදෙනු සීමා වීම, දරිද්‍රතාව වර්ධනය වීම සහ දේශීය ආයෝජන මෙන්ම සෘජු විදේශ ආයෝජන (FDI) අධෛර්යමත් වීම සිදුව ඇති බවද ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම මහා පරිමාණ ව්‍යාපාරවලට වඩා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) මෙම බදු වෙනස්කම් හමුවේ දැඩි පීඩනයකට ලක්ව ඇති බවද හෙතෙම අවධාරණය කළේය.
රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන බදු සංශෝධන 12 මෙන්න:
- සුරාබදු ඉහළ දැමීම (2025 ජනවාරි): මත්පැන්, දුම්වැටි, දුම්කොළ, පැණි බීම සහ මෝටර් රථ සඳහා වන සුරාබදු සියයට 6කින් පමණ ඉහළ දැමීම.
- විදුලි වාහන බදු (2025 පෙබරවාරි): විදුලි මෝටර් රථ (Electric vehicles) සඳහා අදාළ වන බදු අනුපාත දෙගුණයකින් ඉහළ නැංවීම.
- වාහන ආනයන බදු (2025 පෙබරවාරි): පැවති රේගු බදු නිදහස් කිරීම් ඉවත් කර, සියයට 20ක ආනයන තීරුබද්දක් සහ සියයට 50ක අධිභාරයක් හඳුන්වා දෙමින් ඵලදායී බදු අනුපාතය සියයට 30ක් දක්වා ඉහළ දැමීම.
- බැංකු පොලී මත රඳවා ගැනීමේ බද්ද (2025 අප්‍රේල්): බැංකු තැන්පතු පොලිය මත අයකරන රඳවා ගැනීමේ බද්ද (WHT) සියයට 5 සිට සියයට 10 දක්වා දෙගුණ කිරීම (අඩු ආදායම්ලාභීන්ට ස්වයං ප්‍රකාශන මඟින් සහන ලබාගත හැකිය).
- සමාගම් ආදායම් බද්ද (2025 අප්‍රේල්): මත්පැන්, දුම්කොළ, ඔට්ටු සහ සූදු ව්‍යාපාරවල නියුතු සමාගම් සඳහා වන ආයතනික ආදායම් බද්ද සියයට 40 සිට සියයට 45 දක්වා ඉහළ දැමීම.
- සේවා අපනයන මත බදු (2025 අප්‍රේල්): මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ සේවා අපනයන සහ විදේශීය ප්‍රභවයන්ගෙන් ලැබෙන ආදායම් මත සියයට 15ක් දක්වා ආදායම් බදු හඳුන්වා දීම.
- රේගු ආනයන තීරුබදු (2026 අප්‍රේල්): පවතින තීරුබදු ව්‍යුහය සංශෝධනය කර සියයට 0, 10, 20 සහ 30 යන නව අනුපාත හඳුන්වා දීම.
- වාහන ආනයනයට සමාජ ආරක්ෂණ බද්ද (2026 මැයි): වාහන ආනයනය සඳහා සියයට 2.5ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පැනවීම.
- වාහන ආනයන අතිරේක අධිභාරය (2026 මැයි): පවතින සියයට 30ක රේගු බද්දට අමතරව සියයට 50ක අධිභාරයක් එක්කරමින් ඵලදායී බදු අනුපාතය සියයට 45 දක්වා ඉහළ දැමීම (මෙය 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර ඇත).
- ප්‍රාග්ධන ලාභ බද්ද (2026 ජූනි): පුද්ගලයන් සහ හවුල්කාරිත්ව සඳහා සියයට 10 සිට 15 දක්වාත්, භාර, ඒකක භාර (Mutual funds) සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා සියයට 10 සිට 30 දක්වාත් ප්‍රාග්ධන ලාභ බද්ද ඉහළ දැමීම.
- වෘත්තීය සේවා මත රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ (IT) සහ සමාජ මාධ්‍ය වෘත්තිකයන් ඇතුළු වෘත්තිකයන් මසකට උපයන රුපියල් 100,000 ඉක්මවන ආදායම මත සියයට 5ක රඳවා ගැනීමේ බද්දක් (WHT) පැනවීම.
- ඩිජිටල් සේවා සඳහා එකතු කළ අගය මත බද්ද – වැට් (2026 ජූලි): ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොවූ විදේශීය සමාගම් සපයන ඩිජිටල් සේවාවන් සඳහා සියයට 18ක වැට් (VAT) බද්දක් හඳුන්වා දීම.
ඉදිරි අයවැය සඳහා යෝජනා
ඉදිරි අයවැය ලේඛනය මඟින් විශේෂයෙන්ම මහජන පෝෂණය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍ර කෙරෙහි ඉලක්කගත බදු සහන ලබාදීමට පියවර ගන්නා ලෙස තෙන්නකෝන් මහතා රජයෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ වෛද්‍ය උපකරණ, පාසල් උපකරණ මෙන්ම ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත්රවල අමුද්‍රව්‍ය සඳහා පනවා ඇති බදු අඩුකිරීමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
(සටහන: රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම බදු අනුපාත සහ ඒවා ක්‍රියාත්මක වූ දිනයන් පිළිබඳව ස්වාධීන පාර්ශ්වයකින් මෙතෙක් තහවුරු කර නොමැත.)
