බම්බලපිටියේ වෙඩි තැබීමක්

බම්බලපිටිය මුහුදු මාවතේ දී මෝටර් රථයක් ඉලක්ක කර අද (07) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

පසුව රථ දෙකම පළාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු පරීක්ෂකවරයෙකු සහ තවත් සුරාබදු නිලධාරීන් තිදෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන හලක් අසලදී අද පස්වරුවේ අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණි වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබුණි.

වෙඩිතැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී තිබූ අතර පසුව එම රථ දෙකම පළා ගොස් තිබුණි.

ඒ අනුව, ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පොලිස් මාර්ග බාධක යොදා තිබූ අතර වැල්ලවත්ත මාර්ග බාධකයේදී වෙඩිතැබූ පිරිස ගමන්ගත් වෑන් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

එහිදී ආනවරණ වී ඇත්තේ එම රථයේ ගමන් කර තිබුණේ සිවිල් ඇඳුමින් සැරසුණු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව්දෙනෙකු බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා තම කණ්ඩායම එම ස්ථානයට ගිය බවත් සැකකරුවන් පළායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථයට වෙඩිතැබූ බවත් සුරාබදු නිලධාරීන් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

තමන් අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මුදල් ලබාදී මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට සැලසුම් කර තිබූ බව සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කර තිබුණද, ඔවුන් සතුව මුදල් නොතිබූ බව පොලීසිය පැවසීය.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වු මෝටර් රථය වැල්ලවත්ත ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *