පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි මාවනැල්ල ප්‍රදේශයේ මවුලවීවරයෙක් යැයි කියන මොහොමඩ් කලීල් මොහොමඩ් රිස්වාන් නැමැත්තෙක් ඊයේ (13) කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහු පරස්පර ප්‍රකාශ ලබාදීම හේතුවෙන් කුරාණය මත දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි කොමිසම විසින් ඔහුට කියා සිටියේය.
මවුලවීවරයෙක් වන්නේ කෙසේදැයි කොමිසම ප්‍රථමයෙන්ම ඔහුගෙන් විමසා සිටියි.
මුස්ලිම් කටයුතු අමාත්‍යංශයෙන් පවත්වනු ලබන විභාගයක් සමත්වීමෙන් පසු මවුලවීවරයෙක් විය හැකි බවත් තමන් අදාළ විභාගයට පෙනී සිට නොමැති බැවින් මවුලවිවරයෙක් සතුවිය යුතු සහතිකයක් තමාට නොමැති බව ඔහු එහිදී සඳහන් කර සිටියා.
සාක්ෂිකරු පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකයට ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී කොමිසම කරුනු විමසා සිටියා. ඒ මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරිමේ සිද්ධියේ සැකකරුවෙක් වන ෆවුශාන් නැමැත්තා සහරාන් හෂිම් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානය හා එක්ව කටයුතු කරන බවට දැනගත් පසු සිය පල්ලියේ දායක සභාවට ඔහුව කැඳවා, අවවාද කළේ යැයි සාක්ෂිකරු මීට පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳවයි.
ඒ පිළිබඳ ඔහු පවසා සිටියේ මොහොමඩ් රිස්වාන් පැවසුවේ, අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවූයේ ඔහු වැරදි මඟ යාම නිසා වුවත් ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග එක්ව වැඩ කළ නිසාවෙන් නොවන බවයි.
සාක්ෂිකරුගේ ප්‍රකාශ පරස්පර වීම නිසා කුරාණය මත අත තබා සාවද්‍ය තොරතුරු නොපවසන බවට දිවුරා සාක්ෂි ලබාදෙන්නැයි ජනාධිපති කොමිසම කියා සිටියේය.
එහිදී ඔහු කුරාණය මත අත තබා ප්‍රකාශ කළේ අදාළ තරුණයා පල්ලියේ දායක සභාව වෙත කැඳවුයේ ඔහු වැරදි මඟ ගිය නිසාවෙන් පමණක් වන බවයි.
කෙසේවෙතත් ඔහු අවස්ථා දෙකකදී ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම නිසා කොමිසම එය පරස්පර සාක්ෂියක් ලෙස සටහන් කර ගනු ලැබුවේය.