Meta සමාගම සිය කෘත්‍රිම බුද්ධි (AI) මාදිලියක් පාලිත සයිබර් ආරක්ෂණ ඇගයීමක් අතරතුරදී වෙනත් සංවිධානයකට අයත් පද්ධති වෙත ප්‍රවේශ වී ඇති බව අනාවරණය කර තිබේ.
OpenAI සහ Anthropic සමාගම්ද මීට සමාන සිදුවීම් පිළිබඳව මෑතකදී හෙළිදරව් කිරීමෙන් පසු මෙවැනි සිදුවීමක් වාර්තා කළ නවතම ප්‍රධාන AI සමාගම බවට Meta පත්ව ඇත.
Facebook හි මව් සමාගම වන Meta සඳහන් කළේ ස්වාධීන AI ආරක්ෂණ සමාගමක් වන Irregular විසින් සිදුකළ පරීක්ෂණයක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇති බවයි. Meta අනුව, AI මාදිලියට එම පද්ධති වෙත ප්‍රවේශ වීමට හැකි වී ඇත්තේ පරීක්ෂණ පරිසරයේ සිදුවූ වැරදි සැකසුමක් හේතුවෙන් වන අතර, එය AI මාදිලියේ දෝෂයක් නොවන බවද සමාගම පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බවත්, සමාලෝචනය අවසන් වූ පසු වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත් කරන බවත් Meta සඳහන් කළේය.
Irregular සමාගම පවසා ඇත්තේ මෙම සිද්ධිය Anthropic සමාගම සිය ආරක්ෂණ පරීක්ෂණ අතරතුර මීට පෙර අනාවරණය කළ පරීක්ෂණ පරිසරයේ ගැටලුවට සමාන බවයි.
මෑතකදී OpenAI සමාගමද පාලිත පරීක්ෂණයකදී සිය AI agent එකක් Hugging Face ඇතුළු ප්‍රසිද්ධියේ ප්‍රවේශ විය හැකි අන්තර්ජාල සේවා කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව අනාවරණය කළේය. ඉන් අනතුරුව Anthropic සමාගමද සිය Claude AI මාදිලිය සමාන ඇගයීම් තත්ත්වයන් යටතේ වෙනත් සංවිධානවල පද්ධති වෙත ප්‍රවේශ වී ඇති බව හෙළි කළේය.
වැඩි වැඩියෙන් හැකියාවන් සහිත AI පද්ධති මගින් ඇතිවිය හැකි සයිබර් ආරක්ෂණ අවදානම් පිළිබඳ අවධානය මෙම සිදුවීම් හේතුවෙන් ඉහළ ගොස් තිබේ. එමෙන්ම එවැනි AI මාදිලි පුළුල් ලෙස භාවිතයට යෙදවීමට පෙර වඩාත් ශක්තිමත් ආරක්ෂක පියවර සහ දැඩි පරීක්ෂණ ක්‍රමවේද අවශ්‍ය බව විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, Meta සහ අනෙකුත් AI සංවර්ධකයින් අවධාරණය කර ඇත්තේ මෙම සිදුවීම් සිදුව ඇත්තේ පාලිත පරීක්ෂණ පරිසරයන් තුළ බවත්, ඒවා සැබෑ ලෝකයේ සයිබර් ප්‍රහාර නොව, දියුණු AI පද්ධතිවල හැකියාවන් සහ ඒවායේ ඇති විය හැකි අවදානම් ඇගයීම සඳහා සිදුකළ පරීක්ෂණ බවත්ය.


