නාරාහේන්පිට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් තොරතුරු හෙළිවෙයි

මීට පෙර වාර්තා වූ නාරාහේන්පිට පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, කොළඹ පැවති උපාධි ප්‍රදානෝත්සවයකින් තරුණියක පැහැරගෙන යාමේ සිද්ධියක් හා එය සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මීට පෙර වාර්තා කළ පරිදි, නාරාහේන්පිට ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධකයක නතර කරන ලෙස අවස්ථා කිහිපයකදී කළ නියෝග නොතකා මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය එම රථයට වෙඩි තබා තිබිණි.

දැන් සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථයේ සිටි තරුණිය, කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ උපාධි ප්‍රදානෝත්සවයට පවුලේ සාමාජිකයන් සමඟ සහභාගි වීම සඳහා පැමිණ සිටියදී, ඇගේ පෙම්වතා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (BMICH) ආසන්නයේදී පැහැරගෙන ඇති බවට සැක කරන බවයි.

පස්වරු 1.30ට පමණ තරුණියක මෝටර් රථයකින් රැගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර, ඒ අනුව නාරාහේන්පිට සිට නාවල දෙසට ධාවනය වූ එම මෝටර් රථය නතර කිරීමට පොලිසිය උත්සාහ කර තිබේ.

එහිදී රියදුරු පොලිසිය විසින් අවස්ථා කිහිපයකදී කළ නතර කරන ලෙස වූ නියෝග නොතකා මෝටර් රථය ධාවනය කර ඇති අතර, නාරාහේන්පිට-නාවල මාර්ගයේදී එම රථයට පොලිස් නිලධාරීන් වෙඩි තබා තිබේ.

පසුව රියදුරු මෝටර් රථය අතහැර දමා පලාගොස් ඇති අතර, පොලිසිය එහි සිටි තරුණිය සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශනවලදී මෝටර් රථය ධාවනය කළ පුද්ගලයා අදාළ තරුණියගේ පෙම්වතා බවට හඳුනාගෙන තිබේ.

ඔවුන් දෙදෙනාම මාතර දිස්ත්‍රික්කයේ වැලිගම සහ මිදිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද තොරතුරු අනාවරණය වී ඇත.

පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව, තරුණිය සිය පෙම්වතාට නොදන්වා උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා කොළඹට පැමිණ ඇති අතර, පසුව ඇය රැගෙන ගිය බවට සැක කෙරෙන අවස්ථාවේදී ඇගේ පියා විසින් පොලිසියට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ මෝටර් රථය පිළිබඳවද විමර්ශනවලදී විශේෂ කරුණක් අනාවරණය වී තිබේ.

එම මෝටර් රථය තරුණියගේ පෙම්වතාට අයත් එකක් බව පොලිසිය පවසන අතර, උපාධි ප්‍රදානෝත්සවයට පවුලේ සාමාජිකයන් රැගෙන ඒම සඳහා එය තරුණියගේ පියා විසින් භාවිත කර ඇති බවට වාර්තා වේ.

මෝටර් රථය කොළඹ කොටුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති අතර, තරුණිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනද සිදුකෙරෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *