නව රජයෙන් බදු සහන රැසක් – වැට් බද්දත් අඩුවෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය අද(27) පළමුවරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. ඒ අනුව එහිදී විශේෂ තීන්දු තීරණ රාශියක් ගෙන ඇතැයි වාර්තා වේ. බදු සහන රැසක් ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත.

අද පස්වරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ආණ්ඩුව සහන පැකේජයක් ජනතාව වෙත ගෙන ඒමට කටයුතු කර ඇති බවයි. ආර්ථික පුනර්ජීවනය සඳහා ජනතාවට මෙම සහන පැකේජය ජනාධිපතිවරයා විසින් ලබා දි ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංශෝධන සඳහා වු ගැසට් නිවේදන හා අණපනත් ඉතා කඩිනමින් සැකසීම ආරම්භ වන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව, ගෘහස්ථ නිෂ්පාදන සඳහා වු භාණ්ඩ හා සේවා මත අය කළ ජාතිය ගොඩනැඟීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, බැංකු හා මූල්‍ය ආයතනවලින් අය කරන හර බද්ද, කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන බද්ද , උපයන විට ගෙවීම් සඳහා වන ආදායම් බදු, පොලී මත අය කරන විවිධ වර්ගයේ ඇනවුම් බදු හා ණය සේවා බදු යන සියලු බදු වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම සියලු දෙනා ගොඳුරු වෙන වක්‍ර බද්දක් වන සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කිරීමට අනුමැතිය හිමිවී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දු අතර ප්‍රමුඛ එකක් වූයේ වැට් බද්ද අඩු කිරීමයි.

දෙසැම්බර් මස 1 වන දින සිට මෙම බදු සහන ක්‍රියාත්මක වීමට නියමිත අතර වැට් අය කිරීමේ දී පිරිවැටුම සඳහා වු අගයානුකූල බද්ද මිලියන 1කට තිබූ බවත් එය දෙසැම්බර් 1 වන දා සිට මිලියන 25 කට වැඩි නම් පමණක් වැට් බද්දට යටත් වන බවත් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

සුළු, මධ්‍ය පරිමාණ හා ඇතැම් විට මහා පරිමාණ ව්‍යාපාර පවා වර්ෂයකට මිලියන 300 ක පිරිවැටුමක් නැති නම් වැට් බදු ගෙවීමට යටත් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

ඉදිකිරීමේ කේෂ්ත්‍රය සඳහා අය කරන ආදායම් බද්ද 28% සිට 14% දක්වා අඩු කර තිබේ. ස්වාධිපත්‍ය දේපල මහල් නිවාසවල වැට් බද්ද සම්පූර්ණයෙන් අහෝසි කර ඇත. සියලූම ආගමික ස්ථාන සියලූ බදු වර්ගවලින් නිදහස් කර තිබේ. විදෙස් රටවලින් උපයාගෙන එන අදායම් සියල්ල බදුවලින් නිදහස් කර ඇත. විදුලි සංදේශ ගාස්තුවලට අය කරන බද්දද 25% කින් අඩු කර තිබේ.

(Image – daily news)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *