දුමින්ද සිල්වාට විශේෂ සැලකීමක් කර නෑ

දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත්  බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස්  ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

දුමින්ද සිල්වා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෛද්‍ය මණ්ඩලයක් පත් කර ඇති අතර එහි තීරණ ලැබීමෙන් පසුව ඊට අදාල ඉදිරි කටයුතු බන්ධනාගාර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන බවත් අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ  නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවත් දිසානායක මහතා කීය.

අදාල සිරකරු බන්ධනාගාරය වෙත බාරදීමේදි ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ  වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බව දැන්වීම මත බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ අධික්ෂණය යටතේ මේ වන විටත් රදවා ඇති බවත් දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් ලබාදීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ මාධ්‍යන් තුළන් පළ කළ විවේචනාත්මක  පුවත් දැඩිව ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා කීය.

එවැනි ආකාරයේ කිසිදු විශේෂ පහසුකමක් එම සිරකරුහට ලබාදීමක් සිදු වී නැති බවත් බන්ධනාගාර රෝහලේ රඳවියන් 50 කට අධික සංඛ්‍යාවක්  නේවාසික ප්‍රතිකාර ලබන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ පිළිබදව කරුණු සොයාබැලීමට මූලික විමර්ශන දෙකක් සිදු කළ අතර ස්ථාන පරික්ෂාවන් හා මූලිකවිමර්ශන වාර්තා අනුව අදාළ සිරකරුට වෙනම වැසිකිලියක් හෝ විශේෂ පහසුකමක් දී නොමැති බව අනාවරණය වූ බව ද ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *