දිවයිනේ ප්‍රදේශ කීපයකට සුළඟින් හානි

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ද ඉතා රළු විය හැකි බවද පෙන්වා දෙති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, ධීවර හා නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවය.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් වැසි ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ ඇදහැලුණු වර්ෂාවත් සමග ඇති වූ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකින් ගස් කඩා වැටීම් සහ නිවාස හානි වාර්තා වී තිබුණි.

“යාස්” සුළි කුණාටුව බෙංගාල බොක්ක මුහුදු තීරයෙන් එපිටට ගමන්කර තිබුනත් එහි ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තවමත් අවසන් වී නැත.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතී.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුයේ ලක්ෂපාන ප්‍රදේශයෙනි.

එම අගය මිලිමීටර් 73.2 කි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මේ වනවිට පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසයි.

කෙසෙල්ගමු ඔයේ සහ මස්කෙලිය ඔයේ ජල ධාරිතාව ද පිටාර මට්ටමට පැමිණ ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

ජල ධාරිතාව ඉහළ යෑමත් සමඟ කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජලවිදුලි බලාගාරවල විදුලි උත්පාදනය ද උපරිම ධාරිතාවෙන් සිදුවෙන බව විදුලි බලාගාර ඉංජිනේරුවරුන් පැවසීය.

වලස්මුල්ල, ජූලන්පිටිය ගල්වාඩිය ප්‍රදේශ හරහා අද  පෙරවරුවේ හමා ගිය තද සුළඟකින් නිවාස කිහිපයකට අලාභහානී සිදුව තිබුණි.

එමෙන්ම ඊයේ ප්සවරුවේ ඇති වූ දැඩි සුළං හේතුවෙන් තංගල්ල මාරකොල්ලිය වෙල්යායේ සවිකර තිබූ අධි බලැති විදුලි රැහැන් සහිත විදුලි කණුවක් කඩා වැටි තිබුණි.

ඒ හේතුවෙන් එම ප්‍රදේශයට විදුලි සැපයුමද ඇණහිට ඇත.

මේ අතර අධික වර්ෂාව සමඟ හමාගිය තද සුළඟකින් ගාල්ල – මාපලමග මාර්ගයේ නරාවල ප්‍රදේශයේ බස්නැතුමක් මතට විශාල ගසක් කටා වැටුණි.

විදුලි රැහැන් මතට ගස් කඩ වැටීම හේතුවෙන් අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ ද විදුලි සැපයුමට ද බාධා එල්ල වී තිබුණි.

කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද දිනයේ විටින්විට වැසි ඇතිවන බවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *