2030 වන විට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා සහ තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සපුරා ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ඊයේ (15) “ලංකා තේ ගම්මාන” 500ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන දියත් කළේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හල්ගොල්ල ගම්මානයේ හපුගස්තලාව වැව ඉදිරිපිටදී සමාරම්භක උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ කුඩා තේ වතු අංශය නවීකරණය කිරීම, තේ ගොවීන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සහ තේ කර්මාන්තය තුළ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
පළමු අදියර යටතේ, රට පුරා ඇති තේ පරීක්ෂණ අංශ 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් 2026 දී ස්ථාපිත කෙරේ.
මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතනවල නියෝජිතයින් සහභාගී වූහ.


