ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ වගන්තිවලට එරෙහිව ගම්මන්පිල ශ්‍රේෂ්ඨාධිකරණයට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට තීන්දු කරන ලෙස ගම්මන්පිල මහතා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

යෝජිත නීති කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.

ඒ අනුව, අදාළ වගන්ති නීතියක් බවට පත් කරන්නේ නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බවට තීන්දු කරන ලෙස ඔහු ඉල්ලා තිබේ.

මේ අතර, පසුගිය සිකුරාදා (16) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීමෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 54 දෙනෙකු වළක්වමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට එරෙහිවද රිට් පෙත්සමක් ගොනු කර ඇති බව ගම්මන්පිල මහතා සඳහන් කළේය.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ මහනුවර සිට පාගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමින් රැඳී සිටියහ.

එම ස්ථානයේ රැඳී සිටීමෙන් භික්ෂූන් වහන්සේ වළක්වාලමින් සහ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස පොලිසියට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නියෝගයක් නිකුත් කර තිබිණි.

මාධ්‍යවේදීන් අමතමින් උදය ගම්මන්පිල මහතා පැවසුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ එම නියෝගයට එරෙහි රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *