ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු අයකරගැනීම වසර 3කට අත්හිටුවීමට ඉන්දියාව එකඟ වන්නේ නම් ව්‍යාකූල වී ඇති මෙරට ආර්ථිකය ස්ථාවර කරගැනීමට එය රුකුලක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
ශ්‍රී ලංකා රජය ගෙවිය යුතුව ඇති අමෙරිකානු ඩොලර් බිලියන 60ක් පමණ වන විදෙස් ණය අභියෝගයට මුහුණ දීමට ගෙන ඇති සැලසුම් සම්බන්ධයෙන් හින්දු පුවත්පත විමසීමක් කළේය.
එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ රටේ ආර්ථිකය ඉහළ නංවාගන්නා තෙක්, ඉන්දියාවෙන් ලබා ගත් ණය ආපසු ගෙවීම වසර තුනකින් කල් දමා ගැනීමට ඉන්දිය රජය සමග සාකච්ඡා කළ බවයි.
ඉන්දියාව ඊට එකඟතාව පළ කරන්නේ නම් චීනය ඇතුළු සෙසු රටවල් ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගැනීමට පෙළඹෙනු ඇති බව අග්‍රාමාත්‍යවරා මෙහිදී ප්‍රකාශ කළේය.