LK reports news sinhala

ටෙලිකොම් අභ්‍යන්තර පරිගණක ජාලයට සයිබර් ප්‍රහාරයක්

‘සොඩ්නොකිබ්’ නමැති ලෝක ව්‍යාප්ත කප්පම් මෘදුකාංගය යොදා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇත. හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසේ සිට සේවය කරන ටෙලිකොම් ආයතනයේ නිලධාරීන්ට එහි පරිගණක ආරක්ෂණ පද්ධතියට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමත් සමගය.

මේ හේතුවෙන් ටෙලිකොම් ආයතනයේ දත්ත ගබඩා පද්ධති (server) කිහිපයක්, අභ්‍යන්තර මෘදුකාංගවලට හානි සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා ටෙලිකොම් සමාගම විසින්ම ක්‍රියාවිරහිත කර තිබේ.

ඉකුත් සෙනසුරාදා (23) දිනයේ සිට ටෙලිකොම් නිලධාරීන්ට පරිගණක මගින් ආයතන පරිගණක දත්ත පද්ධතියට ඇතුළු නොවන ලෙසටද දන්වා තිබිණි.

අධි අවධානම් මට්ටමේ සයිබර් ප්‍රහාරයක් පිළිඹදව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) මගින් ඉකුත් 23දා අනතුරු හඟවා තිබේ. ඒ මෙම ප්‍රහාරය එල්ල වූ දිනයේදීමය. මෙම සයිබර් ප්‍රහාරය එල්ල කරන හැකර්වරුන් විසින් ලිපිගොනු සහ ෆෝල්ඩර කියවිය නොහැකි ලෙස ඒවා තම ග්‍රහණයට ගන්නා අතර, යථාවත් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා සිටින බව සර්ට් ආයතනය වැඩිදුරටත් පෙන්වා දී ඇත. සර්ට් ආයතනය පෙන්වා දෙන්නේ සොඩ්නොකිබ් වෛරසය විදුලි සංදේශ සේවා සපයන ෆිති සමාගම් සහ තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සමාගම් රැසකට පහර දී ඇති බවත්, එමගින් සේවා කඩාකප්පල් කිරීම හා තොරතුරු අහිමි කිරීමත් සිදුකර ඇති බවත්ය.

සයිබර් ප්‍රහාරයෙන් පසුව ටෙලිකොම් පාරිභෝගිකයන් දිගින් දිගටම පැමිණිලි කර ඇත්තේ අන්තර් ජාල දත්ත ඉක්මනින් කපාහැරීමක් සිදුවන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් හි අභ්‍යන්තර මෙහෙයුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවට පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ පණිවිඩයක් ටෙලිකොම් වෙබ් අඩවයේ පළ කර තිබේ.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාරිභෝගික සේවා ද ඇනහිට ඇති අතර 1212 සහ 0112121212 යන පාරිභෝගික සේවා දුරකථන අංකයන්ද 23, 24 යන දිනයන් හිදී ක්‍රියාත්මක නොවූ බැවින් ටෙලිකොම් පාරිභෝගිකයන් ද මහත් අපහසුතාවන්ට පත්ව සිටිති. එමෙන්ම එස්.එල්.ටී. වෙබ් අඩවියෙන් ද පාරිභෝගික සේවා ලබා ගැනීමට නොහැකි අතර ටෙලිකොම් ආයතනයේ සේවකයින් පවසන්නේ සයිබර් ප්‍රහාරය හේතුවෙන් එහි පරිගණක ක්‍රියාත්මක කිරීමට පවා නොහැකි තත්තවයක් මතුව ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *