ජුනි 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ශේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකරල, මහාචාර්ය රත්නජීවන් හූල් යන මහත්වරුන්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් සහ නීතිපතිවරයායි.

පෙත්සම්කරු වන නිතීඥ චරිත ගුණරත්න මහතා පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 25 දින පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් දැමීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු 2 වැනිදා සිට මාස 3 ක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බවටත් පෙන්වා දෙන ඔහූ ඉල්ලා සිටින්නේ මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ජුනි මස 20 වැනි දින මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *