LK reports news sinhala

ජනපතිට වැරදුනේ නෙළුම් කුලුන ගැන විතරද?

බොහෝ දෙනෙකුගේ කුතුහලයට මෙන්ම කථාබහටද ලක්වූයේ 2020 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙනි. එම කුතුහලය නිමා වූයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීළඟ ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනි දින පවත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟය. එයට අදාල ගැසට් පත්‍රයද එදින මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරනු ලැබිණි.

ගෙවුණු සතියේ එජාප යේ දේශපාලන වේදිකාව උණුසුම් වුණේ ජනපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේ අර්බුදයත් සමගය. මේ වනවිට එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සුළු පක්ෂ නායකයන් අතරද එජාප ජනපති අපේක්ෂකයා සම්බන්ධව විවිධ මත ගැටුම් හටගෙන ඇත. දෙමළ ජාතික සන්ධානය සජිත් පිළට සහාය දීම ප්‍රතික්ෂේප කරන බවක් දක්නට ලැබෙන අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සුළු පක්ෂ වල සහාය ලබාගෙන පෙන්වන ලෙස සජිත් ට ඉදිරිපත් කළ අභියෝගය ජය ගැනීම සජිත්ට අභියෝගයක්ම වී ඇත.

මේ අතර අගමැතිවරයා විසින් හදිසියේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිණිස ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට එජාපයට සම්බන්ධ සුළු පක්ෂ නායකයන් මෙන්ම සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහුට සහාය දක්වන එජාපයේ මන්ත්‍රී කණ්ඩායම ද ඔවුන්ගේ දැඩි අප්‍රසාදය පළ කල අතර රාවුෆ් හකීම් ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාව දැඩි ලෙස විවේචනය කිරීම එජාප අර්බුදය තවදුරටත් දික් ගැස්සීමට හේතුවිය.

මේ සමගම අධිකරණ ක්ෂේත්‍රය සහ දේශපාලන පරිසරය උණුසුම් කළ තවත් සිදුවීමක් සිදුවිය. එනම් අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු සභාපතිනිය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් සහ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර ඇතිවුණු ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬ පටයයි.එම හඬ පටයට අනුව දිල්රුක්ෂි ඩයස් මහත්මිය අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිනිය වශයෙන් ක්‍රියාකොට ඇති ආකාරය ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගිය සමයේ රණවිරුවන් සහ ඇතැම් දේශපාලන නායකයන්ට විරුද්ධව නඩු පැවරුවේ ඇතැම් පටු දේශපාලනඥයන්ගේ වුවමනාව මත බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග මහජනතාවට ප්‍රශ්නයන් පැන නගිනුයේ මෙහිදී දිල්රුක්ෂි ඩයස් මහත්මිය “කාලකණ්ණි දේශපාලනඥයන් ” වශයෙන් හඳුන්වන්නේ අගමැතිවරයාද නැතිනම් වෙනන් පාර්ශවයක් ද යන්නයි.

මේ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ නවමු පිම්මක් පනිමින්  කොළඹ නෙළුම් කුලුන පසුගිය සතියේ ජනාධිපතිවරයා අතින් විවෘත විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඇතුළුව චීන රජයේ විශේෂ නියෝජිතයන් මෙන්ම මෙරට කථානායකවරයා ප්‍රධාන දේශපාලන නායකයන්ද සහභාගීවිය. මෙම උත්සව සභාව ඇමතූ  ජනාධිපතිවරයා සියලු දෙනා මවිත කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එවකට මහින්ද රාජපක්ෂ රජය නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවත් ඇලිට් සමාගමත් චීන ඉදිකිරීම් සමාගමක් සමගත් ගිවිසුමකට අස්සන් කළ බවයි. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා රජය ඇලිට් සමාගමට රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදලක් ගෙවූ බවයි. පසුව එම ඇලිට් සමාගම අතුරුදහන්වූ බවත් එම කෝටි 200 ට කුමක් සිදුවූයේද යන්න කිසිවෙක් නොදන්නා බවයි. චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතාව තමන් මේ සම්බන්ධයෙන් දැනුවත් කොට එම ලිපිනයෙහි සඳහන් ඇලිටි සමාගමට ගොස් මේ සම්බන්ධව කරුණු විමසන ලෙස පැවසූ බවත් එහි ගිය කරුණාසේන කොඩිතුවක්කු මහතා එවැනි සමාගමක් එම ලිපිනයෙහි නොමැති යැයි තමාට දැන්වූ බව ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් පවසා සිටියේය.  එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබාදුන් චීන එක්සිම් බැංකුවද 2016 වසර වනවිට එතෙක් ලබාදුන් ණය වාරිකද අත් හිටවූ බවයි. එමනිසා ඉතිරි වැඩකොටස නිම කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ මුදල් යොදාගත් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

(Image – PMD News)

ඊට පසුදින හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රජාපක්ෂ මහතාගෙන් මාධ්‍යය මේ සම්බන්ධව ප්‍රශ්න කර සිටියේය. එහිදී විපක්ෂ නායක වරයා කියා සිටියේ එවකට තම රජය ඇලිට් සමාගමට මුදල් නොගෙවා ඇති බවත් එම මුදල් ගෙවනු ලැබුවේ චීන ඉදිකිරීම් සමාගමට බවත්ය. එමෙන්ම ගිවිසුමට අනුව 2015 වසරේ වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණත් නව රජයට එම වැඩ අවසන් කරගැනීමට නොහැකි වූ නිසා 2016 වසර වනවිට  චීන බැංකුව නියමිත ණය වාරික ගෙවීම අත්හිටවූ බවයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ චීන රජය යනු ලෝක බලවතකු මෙන්ම ශ්‍රී ලංකාවට මිත්‍රශීලී රාජ්‍යයක් වන බැවින් ජනාධිපතිවරායගේ මෙම ප්‍රකාශය චීන රජයට කරන ලද අපහාසයක් වශයෙන් තමන් සලකන බවයි.

බැසිල් රාජපක්ෂ ප්‍රධාන පොදුජන පෙරමුණු පාර්ශවයෙන් කියා සිටියේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි. මේ අතර ලෝකයේවත් නැතැයි කියූ ඇලිට් සමාගමේ සභාපතිවරයා සමග කරුණාසේන කොඩිතුවක්කු තානාපතිවරයා සාකච්ඡා කරමින් සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය විය. තමන්ගේ ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් කරුණාසේන කොඩිතුවක්කු ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා මෙම සමාගම සම්බන්ධයෙන් සොයා බලනා ලෙස තමන්ව දැනුවත් කල බවත් එතුමන් ලබාදුන් ලිපිනයෙහි එවන් සමාගමක් නොමැති බව තමන් ජනාධිපතිවරයාට දැන්වු බවයි. පසුව තමන් වැඩිදුරටත් සොයා බැලීමේදී එම සමාගම චීනයේ ක්‍රියාකාරී සමාගමක් බවත් තමන් එම සමාගමට ගොස් එහි ප්‍රධානීන් හමුවී සාකච්ඡා කල බවත් ඔවුන් තමන්ට පවසා සිටියේ තම සමාගම ගිවිසුමකට එළඹුනේ ඉදිකිරීම් සමාගම සමග පමණක් බවත් ශ්‍රී ලංකා රජය තම සමාගමට මුදල් ගෙවා නැතිබවත් ඒ මහතා එම ෆේස්බුක් සටහනේ තවදුරටත් සඳහන් කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් ඇලිට් සමාගමද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය කිසියම් මොහොතක හෝ තම සමාගමට මුදල් ගෙවා නැති බවත් ඉදිකිරීම් සමාගමට මෙම මුදල් ගෙවා ඇති අතර එම මුදල් සම්පූර්ණයෙන්ම යොදවනු ලැබුවේ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා පමණක් බවයි. එම නිවේදනයේ ඇලිට් සමාගම ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් තම සමාගම ලෝකයේ කීර්තිමත් සමාගමක් බව වැඩිදුරටත් සඳහන් කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තැන් තැන්වල විවිධ අදහස් පලවන්නට වූ අතර මාධ්‍ය හමුවලදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මෙම ප්‍රශ්නයේදී මාධ්‍යවේදීන්ව මගහැර යාමට උත්සාහ ගන්නා ආකාරය අපට දක්නට ලැබිණි. සමාජයේ බොහෝ දෙනෙකුගේ මතය වූයේ කවුරුන් හෝ ජනාධිපතිවරයාව නොමග යවමින් ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බවයි.

මෙම සිදුවීමත් සමග පසුගිය කාලය පුරාවට රාජපක්ෂ රජයට දිගින් දිගටම එල්ල කළ වංචා දූෂණ  චෝදනා සම්බන්ධයෙන් ද සමාජය තුළ ප්‍රශ්නාර්ථයක් හට අරගෙන ඇත.

මෙහිදී අපි ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ මේ ප්‍රකාශය සිදු කිරීමට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේවත් මෙම සමාගම ගැන කරුණු සොයාබැලුවේ නම් මෙවැනි අකරතැබ්බයකට පත් නොවන බවයි.

මේ අතර එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රජාපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදුවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *