පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී  පැවසීය.

පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව සහ ඉරානය පිළිගන්නා බවද ජනාධිපතිවරයා කීය.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්විණි.

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී  සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා එහිදී  පැවසීය.

ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපති රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවද පැවසූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හි පවතින සහයෝගීතාව සඳහා  උදාහරණයක් බවට පත්වීම පිළිබඳ සතුටු වන බවද කියා සිටියේය.

එමෙන්ම අපගේ සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු පුළුල් කර ගැනිම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ආදිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ බවද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *