ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාෂියෑන්ග් මහතා ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සමඟ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී හමුවී තිබේ.
මෙම හමුවේදී දිගුකාලීන ශ්‍රී ලංකා-චීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවට වැඩි චීන ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දරිද්‍රතාව තුරන් කිරීම සම්බන්ධයෙන් සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
චීන ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට දිරිගැන්වීම් ලබාදෙන බව තානාපතිවරයා සඳහන් කර ඇති අතර, දරිද්‍රතාව තුරන් කිරීම සම්බන්ධයෙන් චීනය අත්කරගෙන ඇති අත්දැකීම් ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනවත් විය හැකි බව පෙන්වා දී තිබේ.
රජයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ සහ ග්‍රාමීය දරිද්‍රතාවට විසඳුම් ලබාදීම අරමුණු කරගත් “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳවද සාකච්ඡා කර ඇත.
එමෙන්ම, 2027 වසර ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම මෙන්ම, 1952 වසරේ අත්සන් කළ ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයේ අවධානය යොමුවී තිබේ.



