චමල් රාජපක්ෂට මරණීය තර්ජනය කළ සැකකරු රිමාන්ඩ්

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩ යොමු කරමින් මරණීය තර්ජනය එල්ල කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 6වැනි දින දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය නියම කළාය.

සැකකරු අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් රැඳවුම් නියෝග මත විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. මෙසේ රක්ෂිතබන්ධනාගාරගත කළේ සිලගම බලංගොඩ පදිංචි විජේනායක කංකානම්ලාගේ රාජිත යන අයයි. රාජ්‍ය නිලධාරීන්ගේ හා රාජ්‍ය නායකයන්ගේ තොරතුරු රහසිගතව සොයමින් තර්ජනාත්මක කෙටි පණිවිඩ යොමු කිරීමේ චෝදනාව මත සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සිද්ධියට අදාළව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එම කොටිඨාසය ජංගම දුරකථන වාර්තා කැඳවා සැකකරු සම්බන්ධ කරුණු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු ඉකුත් 20වැනි දින අත්අඩංගුවට ගෙන පැය 72ක කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග මත රඳවා සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ (24) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරු පුද්ගලික ආරක්ෂක අංශයක නියාමකවරයකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවේ මෙය සිදු කළේ කාගේ පෙළඹවීමකට යන්න සම්බන්ධව වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි. අදාළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන මස 6 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *