ගෝඨා බය සහ ගොබෙල්ස් න්‍යාය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මේ වනවිට පුරවැසිභාවය ප්‍රශ්න කරමින් පෙත්සමක් ගොනු කර ඇත. ඒ ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා ගසා ඇති අවසාන තුරුම්පුව වීමට බොහෝ දුරට ඉඩ ඇතිය.

විපක්ෂයේ බලපෑම සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට ඇති ජනප්‍රියත්වය මෙන්ම ඊට නොදෙවෙනි ආණ්ඩුවට ඇති ජන අප්‍රසාදය හා බලවත් විරෝධය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා එන්න එන්නම ජනපතිවරණ සටනේ ඉදිරියට එමින් සිටින මොහොතක ඔහු වැළැක්වීමට ආණ්ඩුව සහ ඔවුන්ට හිතවත් බලවේග කළ හැකි සෑම දෙයක්ම සිදුකරමින් සිටී. එහි උච්ඡතම අවස්ථාව ලෙස සඳුදා(30) ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර යන පුද්ගලයින් දෙදෙනා ගොනු කළ අභියාචනා පෙත්සම හැඳින්විය හැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී නිසියාකාරව ද්විත්ව පුරවැසි බව ලබා නැතැයිද ඔහුට ජාතික හැඳුනුම්පතක් සහ විදෙස් ගමන් බලපතක් නීතිවිරෝධීව නිකුත් කර ඇතැයි යනුවෙන් චෝදනා කරමින් මෙසේ පෙත්සම් ගොනු කර ඇත. එම පෙත්සම් ගොනු කරන ලද පුද්ගලයින් දෙදෙනා ගත්විට ඔවුන් එන්ජීඕ නඩවල අතකොළු බව ඕනෑම අයකු දන්නා කරුණකි. ඔවුන්ගේ ඉතිහාසය මෙන්ම වර්තමානය ගැන විමසා බලන විට එය මනාව පසක් කරගත හැකිය. විශේෂයෙන්ම ගාමිණී වියන්ගොඩ වැන්නන් විල්පත්තු ගැටළුවේදී අන්තවාදී රිෂාඩ් බදියුදීන්ගේ පැත්තේ සිටගෙන ඔහු වෙනුවෙන් පෙනී සිටි අයෙකි. එසේම රාවය පුවත්පත හරහා ලිපි මෙන්ම විවිධ කෘති රචනා කරමින් මහින්ද  රාජපක්ෂ පරම සතුරකු ලෙස සලකා පක්ෂපාතී දේශපාලනයක් කළ අයෙකි. ඔහුගේම කපාපු පළුවක් ලෙස චන්ද්‍රගුප්ත තේනුවර හැඳින්විය හැකිය. එබැවින් මොවුන් දෙදෙනා ජනතාව අතර අප්‍රසාදයට පත්වූ ඩොලර් කුට්ටිවලට තම දෙමාපියන් පවා පාවාදෙන්නන් ලෙස බොහෝ දෙනෙක් හඳුනාගත් අය වෙති. එබැවින් ඔවුන් මෙසේ පෙත්සම් ගොනුකරමින් ගෝඨාභය දංගෙඩියට දැක්කීමට කැස කවමින් සිටින්නේ කාගේ වුවමනාවටදැයි කාහටත් තේරුම් ගැනීම අපහසු නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පසුගියදා පෙන්වාදුන්නේ තමන් කිසි ලෙසකින්වත් වැරදි සහගත ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වී නොමැති බවයි. විශේෂයෙන්ම සියලු නීති විශාරදයින්ගේ උපදෙස් ගෙන අදාළ ලිපි ලේඛන නිවැරදි බව සහතික කරගෙන ඒවා ඉදිරිපත් කර ඇමරිකා පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයට ඉදිරිපත් ව සිටින බව මනාව පෙන්වා දෙනු ලැබීය. එවැනි අවදානමක් ගෙන ජනපතිවරණයක් වැනි දෙයකට ඉදිරිපත් වීමට තරම් අනුවණ බවක් ගෝඨාභයට ඇතැයි සිතිය නොහැකිය.

එන්න එන්නම ජනප්‍රසාදය අඩුවෙමින් ජනතා විරෝධී ආණ්ඩුවක් බවට පත්ව සිටින එක්සත් ජාතික පක්ෂය මේ වනවිට පරාජය හමුවේ වියරු වැටී ඇති ආකාරය දැකිය හැකිය. ජනහමුවලදී සහ ප්‍රසිද්ධ වේදිකාවේ ගෝඨාභයට ජම්පර් ඇන්දවීමට ක්‍රියාකරන බව කියමින් 2015 වසරේදී ඔවුන් කී සුපුරුදු කථා යළි කරළියට ගෙනැවිත් තිබේ. විශේෂයෙන්ම ගොබෙල්ස් න්‍යාය මෙහිදී සිහිපත් කළ හැකිය. එකම බොරුව සිය දහස් වාරයක් කීමෙන් එය ඇත්තක් වන බව ගොබෙල්ස් න්‍යායේ සඳහන් වේ. ඒ අනුව ගෝඨාභය මිනීමරුවෙක්, මහින්ද හොරෙක් යන එකම මෙන්ම කිසිවිටක ඔප්පු කිරීමට නොහැකිවූ කථා කියමින් ඒවා යළිත් ජන මනසට කාවැද්දීමට එකම දේ කියමින් සිටින රජය මේ වනවිට පෙර පාවිච්චි කළ තුරුම්පු යල් පැන ගිය ඒවා බවට පත්ව ඇත. මක්නිසාද යත් ගෝඨාභයට එරෙහිව පැවරූ නඩු සාපාරාධීව හිතා මතා පළිගැනීමට කළ ඒවා බවට දැනටමත් ඔප්පු වී ඇති නිසාය. රාජ්‍ය නිලධාරීන් බලපෑම්වලට යටත් කරමින් පළිගැනීමේ චේතනාවෙන් නඩු පැවැරූ අයුරු දිල්රුක්ෂි ඩයස් මෙන්ම සුහද ගම්ලත් වැන්නන් මේ වනවිටත් අනාවරණය කර අවසන්ය. ඒ අනුව ආණ්ඩුව ගැසූ සියලු තුරුම්පු අතේ පත්තුවී ඇත. ඒවායින් බේරීමට මෙසේ යළිත් පුරවැසිභාවය සම්බන්ධ ගැටළුවක් කරළියට ගෙනැවිත් ඇත.

තම නිවැරදිභාවය සනාථ කරමින් ගෝඨාභය ඇතුළු පිරිසට ජනපතිවරණ සටන ඉදිරියට ගෙන යා හැකි නමුත් මෙවැනි ගොබෙල්ස් න්‍යායේ සාධක ඇතැම් ජනතාවට තවමත් පිළිගත හැකි අයුරින් සමාජගත කිරීමේ කූඨ වැඩපිළීවෙළක් සකස් කරමින් පවතී. රජය සමාජ මාධ්‍යයද පාලනය කරමින් මෙසේ ගෙනයමින් පවතින වැඩපිළිවෙළවල් සඳහා විදෙස් රටවල සහායද ඇතැයි වාර්තා වේ. එබැවින් සිංහලයාගේ මෙන්ම බෞද්ධ රාජ්‍යයේ අවසාන බලාපොරොත්තුව සියලු දෙනාට සාමයෙන් සමගියෙන් ජීවත්විය හැකි රටක්ය. අනන්‍ය සංස්කෘතිය රැකගෙන නවීන තාක්ෂණයේ දායකත්වයෙන් රට ගොඩනැගීමය. මේ සඳහා ඇති අවසාන අවස්ථාවට පහරදීමට සියලු පරගැති බලවේගයන් පිඹුරුපත් සකසමින් සිටී. එබැවින් ඡන්දදායකයින් වඩාත් බුද්ධිමත් විය යුතු කාලය ඉදිරියට එළැඹෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *