ගෝඨාභයට එරෙහි පෙත්සම් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ශ්‍රී ලංකා පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් අද(4) අධිකරණය ඉවත දැමීමට තීරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන දෙදෙනා විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

ඒ අනුව දින තුනකදී හදිසි නඩු කටයුත්තක් සේ සලකා මෙම පෙත්සම් විභාගයට ගැනුණු අතර අද ලිඛිත දේශන පස්වරු 3.15 දක්වා ලබාදීමට නියෝග කර තිබුණු අතර අද සවස 6ට තීන්දුව ලබාදීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබිණි. ඒ අනුව සවස 6ට රැස්වුණු විනිසුරු මඩුල්ල ඒකමතිකව අදාළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට තීරණය කළ බව දන්වනු ලැබීය.

අභියාචනාධිකරණය වෙනුවෙන් සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *