ගුරු හිඟය පියවීමට වසර අවසන් වීමට පෙර බඳවා ගැනීම්

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින ගුරු හිඟය විසඳීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර ගුරු බඳවා ගැනීම් ප්‍රමුඛතාවක් ලෙස සිදුකරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

බ්‍රහස්පතින්දා (06) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ගුරු බඳවා ගැනීම්වලදී එම පළාත් තුනේ පවතින පුරප්පාඩු පිරවීමට විශේෂ අවධානයක් යොමු කරන බවයි.

එම ප්‍රදේශවල ගුරු හිඟය යළි යළිත් ඇතිවීම වැළැක්වීම සඳහා දිගුකාලීන උපායමාර්ගයක් සකස් කිරීමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය.

පළාත් තුනේ දැනට ක්‍රියාත්මක පාසල් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති මානව සම්පත් කළමනාකරණය සහ උසස් අධ්‍යාපනය ඇතුළු අනුකාරක සභාවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක්විය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන් වෙත සහතිකපත් පිරිනැමීමද රැස්වීම අතරතුර සිදු කෙරිණි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම රැස්වීමට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *