කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුම්

අගෝස්තු 8 සහ 9 යන දිනවල ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය 2026 වෙනුවෙන් පුළුල් රථවාහන සහ රථගාල් සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

සැණකෙළියේ සමාරම්භය සනිටුහන් කරමින් සෙනසුරාදා (08) පෙරවරු 9.00ට රථ පෙළපාළියක් පැවැත්වීමට නියමිත අතර, එය කොල්ලුපිටිය මංසන්ධිය, ලිබර්ටි වටරවුම, බම්බලපිටිය මංසන්ධිය, තුම්මුල්ල, හෝර්ටන් පෙදෙස, ලිප්ටන් වටරවුම, රීගල් මංසන්ධිය, ලෝටස් පාර සහ පෝට් සිටි ඇතුළු කොළඹ ප්‍රධාන මාර්ග ඔස්සේ ගමන් කිරීමට නියමිතය.

ඒ හේතුවෙන් එම මාර්ග භාවිතයෙන් වළකින ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් රථවාහන නිලධාරීන් යොදවා ගමනාගමනය පාලනය කිරීමට සහ ජනතාවට සහාය වීමට කටයුතු කරනු ඇත.

ඉරිදා (09) ගාලු මුවදොර පිටියේදී සරුංගල් සැණකෙළිය සහ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන අතර, එය මහජනතාව සඳහා විවෘතව පවතී.

උත්සවය ආරක්ෂිතව සහ බාධාවකින් තොරව පැවැත්වීම සඳහා රථවාහන නිලධාරීන් 300 දෙනෙකු ඇතුළුව පොලිස් නිලධාරීන් 1,000කට ආසන්න පිරිසක් රාජකාරියේ යෙදවීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

අමුත්තන් සඳහා පහත සඳහන් ස්ථානවල රථගාල් පහසුකම් සලසා ඇත.

  • MOD ක්‍රීඩාංගණ රථගාල
  • ෂැංග්‍රි-ලා ආසන්න කොන්ක්‍රීට් රථගාල
  • චෛත්‍ය පාර
  • යෝර්ක් වීදිය
  • ලේඩන් බැස්ටියන් පාර
  • ලෝවර් ලෝටස් පාර
  • ඩියුක් වීදිය
  • බ්‍රිස්ටල් වීදිය
  • බැරන් ජයතිලක මාවත
  • ඩී.ආර්. විජයවර්ධන මාවත
  • පාර්සන්ස් පාර
  • පෝට් සිටි පරිශ්‍රය
  • සී පාර
  • ග්‍රීන් පාත්
  • ධර්මපාල මාවතේ විහාරමහාදේවි උද්‍යානය දෙසට පිහිටි ප්‍රදේශය

මීට අමතරව, යූනියන් පෙදෙසේ Access Tower රථගාල, ගාමිණී වටරවුම ආසන්න පෞද්ගලික රථගාල, ලේක් හවුස් ඉදිරිපිට Lower Ground රථගාල, Chamas රථගාල සහ පැරණි මැනිං වෙළෙඳපොළ රථගාල යන ස්ථානවල ගාස්තු අයකරන රථගාල් පහසුකම්ද ලබාගත හැකි බව පොලිසිය සඳහන් කළේය.

සැණකෙළිය පැවැත්වෙන සති අන්තයේ රථවාහන තදබදය අවම කිරීම සහ පැමිණෙන ජනතාවට සහාය වීම සඳහා කොළඹ නගරය පුරා රථවාහන නිලධාරීන් රාජකාරියේ යෙදවීමටද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *