කොවිඩ් එන්නතට බිය වෙන්න එපා විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි

කොවිඩ් 19 වසංගතය පාලනයේදී එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ,ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට එන්නත් වර්ග 07ක් පමණ අනුමත කර තිබෙන අතර එම ඕනෑම එන්නතක් ලබාගෙන ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි.

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ, “දැනට අනුමත සෑම එන්නතකින්ම 65% කට වැඩි ආරක්ෂාවක් සලසනවා. එන්නත ලබාගත් අයට වෛරසය ආසාදනය වුවද 90%කට වැඩි ආරක්ෂාවක් සැලසෙන නිසා දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍යතාවක් මතු වෙන්නේ නෑ,” යනුවෙනි.

ඒ නිසා තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම මේ කුමණ හෝ එන්නතක් ලබාගැනීම වැදගත් බව ඇය පවසන්නීය.

රට තුළ භාවිත කෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් නිසාවෙන් එන්නත් ලබා ගැනීමට බිය වියයුතු නොවන බවද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

“ගැබිණි මව්වරුන් මෙහිදී ඉතාම ප්‍රවේශම් විය යුතුයි. මුල් මාස තුන තුළ දරුවාගේ අවයව වැඩීම සිදුවන හෙයින් කිසිම වෛරසයකට නිරාවරණය වීම අපි පිළිගන්නේ නැහැ. අවසන් මාස තුනේ පසුවන ගැබිණි මව්වරුන් ද වඩා සැලකිල්ලෙන් පසුවිය යුතුයි. ආසාදිතවීම තුළ සංකූලතා වැඩි වෙන්න පුළුවන්. අඩු වයසින් දරුවන් බිහිවෙන්න පුළුවන්. ආසාදිත තත්ත්වයක් හෝ රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.”

“මෙම කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම තුළ දිගුකාලීනව ප්‍රතිශක්තියට හානියක් වෙනවද නැද්ද කියලා තවම වෛද්‍ය විද්‍යාත්මකව සාධක මගින් හඳුනාගෙන නැහැ. ඇතැම් අය රෝග ලක්ෂණ තියෙද්දී ඒ ගැන පරීක්ෂණයක් කරලා තහවුරු කරගන්න මැලිකමක් දක්වනවා. ඒ නිරෝධායනයට යෑමට තියෙන අකමැත්ත මෙන්ම නිවසින් වෙන්වීමට තිබෙන අකමැත්ත නිසා. මෙවැනි තත්ත්වයන් තුළ අසාධ්‍ය වූ විට තමයි රෝහලට පැමිණෙන්නේ. එය මරණ වැඩිවීමට හේතුවක්.”

එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ,

“අපිට පේන හැටියට අපි කිසිම පාලනයක් තවම ලබාගෙන නෑ. රෝගීන් ඉතා වේගයෙන් වැඩි වෙනවා. අපි තනි තනිව මේ රෝගය වැළඳ නොගැනීමට අවශ්‍ය පියවර ගත යුතුයි. මේ රෝගය දරුවන්ට හැදෙන්නේ නෑ කියලා කිව්වොත් ඒක වැරදියි. දරුවන්ටත් මේක හැදෙනවා. දරුවන් තමයි ගෙවල්වලට අරන් යන්නේ. දරුවන් මගින් තමයි මේ වෛරසය වැඩිහිටියන්ට බෝ වෙලා වැඩිහිටියන් ජීවිතක්ෂයට පත්වෙන්නේ. දරුවන්ගෙන් මේ රෝගය පැතිරීම වළක්වා ගැනීමට පාසල් වසා තැබීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. කුඩාම දරුවන් හැර අනෙක් දරුවන්ට මුහුණු ආවරණ පැළඳීම වැදගත් වෙනවා.”


 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *