රටවල් 110 කට වැඩි ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙන කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (11) නිල වශයෙන් නිවේදනය කළේය. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් අදනොම් ඒ බව ප්‍රකාශ කළේය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් එහි බරපතළකමත් වයිරසය මර්දනය කිරීමටත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොමැතිවීමත් යන කරුණු මත කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව හෙතෙම එහි ද පැවැසීය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට 4,300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී 119,711 දෙනකුට වයිරසය ආසාදනය වී තිබේ.