කුණු කන්ටේනර් ගෙනඒම පිටුපස ජනප්‍රිය පෞද්ගලික සමාගමක්

එංගලන්ත‍යෙන් ශ්‍රී ලංකාවට කුණු කන්ටේනර් 102ක් ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව පිටුපස මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක් සිටින බවත් එහි හිමිකරු එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ තැතක් ඇති බවත් ‘සුරකිමු ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියෝ පෙන්වා දෙති.

පසුගියදා එංගලන්තයේ සිට මෙරටට කුණු කන්ටේනර් 102ක් එවා තිබූ අතර මේ පිළිබඳ රේගුවද තහවුරු කර තිබිණි.

අදාළ කන්ටේනර් 102 තුළ රෝහල් අපද්‍රව්‍ය ගෙනැවිත් ඇති බවත් මීට පෙරද අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 130 ක් මෙරටට ගෙන්වා කටුනායක වෙළෙඳ කලාප භූමියේ බහා තැබූ බවද කී ආනන්ද සාගර හිමියෝ 2013 ගැසට් නිවේදනයකට මුවා වී මෙම ව්‍යාපාරය කරගෙන ආ බවටද චෝදනා කර සිටියහ.

නයිජීරියාව, අයිවරිකෝස්ට් සහ සෝමාලියාව වැනි රටවලට දේශසීමා හරහා මෙවැනි අපද්‍රව්‍ය ගෙනැවිත් දැමීම නිසා එම රටවල මිනිසුන් සිය ගණනින් ජීවිතක්ෂයට පත් වූ බවත් බොහෝ පිරිසක් දරුණු රෝගාබාධයන්ට ගොදුරුවූ බවත් පෙන්වා දෙන පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ මොහොතේ ශ්‍රී ලංකාවට ගෙනවිත් ඇති මෙම අපද්‍රව්‍ය කන්ටේනර් 102 මෙරට තුළට මුදාහැරීමට මධ්‍යම පරිසර අධිකාරියත් රේගුවත් දරන උත්සාහය පරාජය කරන බවද කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඉසුර දේවප්‍රිය කිසිවක් නොදන්නා බව පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියේය.

(තොරතුරු – දිවයින, ලංකාදීප හා ලංකාසීනිව්ස් / Image – News Radio)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *