කිරිපිටි, සංස්කෘත කිරි පානය සහ යෝගට් මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත අසත්‍ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
“Breaking News” ලෙස සකස් කර ඇති එම සමාජ මාධ්‍ය පළකිරීමේ කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 260කින්, සංස්කෘත කිරි පානයක මිල රුපියල් 40කින් සහ යෝගට් එකක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති බව සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, එවැනි මිල ඉහළ දැමීම් සම්බන්ධයෙන් පළවන තොරතුරු අසත්‍ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර ඇත.
නිල හෝ විශ්වාසදායක මූලාශ්‍රයකින් තහවුරු කර නොගෙන මෙවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා නොහරින ලෙසද අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබේ.
“යමක් ‘Breaking News’ ලෙස නම් කිරීමෙන් පමණක් එය සත්‍යයක් බවට පත්වන්නේ නැහැ,” යනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කර තිබේ.
අසත්‍ය හෝ තහවුරු නොකළ තොරතුරු හේතුවෙන් පාරිභෝගිකයන් අතර අනවශ්‍ය බියක් ඇති වීම මෙන්ම වෙළෙඳපොළ තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති විය හැකි බවද අධිකාරිය අනතුරු අඟවා ඇත.
එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට පෙර භාණ්ඩ මිල වෙනස්වීම් සම්බන්ධ වාර්තා නිල නිවේදන මඟින් තහවුරු කර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
සැක සහිත මිල වෙනස්කම් හෝ වෙළෙඳපොළේ සිදුවන වෙනත් අක්‍රමිකතා පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙසද පාරිභෝගික කටයුතු අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇත.


