පසුගිය අප්‍රේල් මස මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාවේදී කොළඹ කිංස්බරි හෝටලය ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරය ක්‍රියාත්මක කළ ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජික මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නම් ත්‍රස්තවාදියාගේ හිස මාස 5කට ආසන්න කාලයක් කොළඹ මෘත ශරීරාගාරයේ තිබූ අතර එය භාර ගැනීමට ඥාතීන් කිසිවකු ඉදිරිපත්ව තිබුනේ නැත.
මේ නිසා බෝම්බකරුගේ හිස භාරගැනීමට ඥාතීන් ගෙන්වා අවස්ථා කිහිපයකදී අධිකරණය කරුණු විමසූ අතර ඔහුගේ බිරිය ඇතුළු පවුලේ ඥාතීන් අවසානයේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරිම නිසා එම හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියම කළේය.
එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු අවසන් වරට බෝම්බය සැලසුම් කරන වකවානුවේ කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ නිවසක කුලියට පදිංචිව සිටියේය. එම කුලී නිවසට ලබාදී තිබුණ ලිපිනයේ දක්වා තිබුනේ කොළඹ 12 යෝන් වීදියේ පදිංචිකරුවෙකු බවයි. ඔහු සමග එම නිවසේ සිටියේ කටුවාපිටිය දේවාස්ථානයේ බෝම්බය පුපුරුවාගත් මොහොමඩ් කස්තූන් සහ සයින්දු මරුදු ප්‍රහාරක පිරිසද සමගය. කටානේ ඩේවිඩ් පෙරේරා මාවතේ පිහිටි නිවස අන්තර්ජාල වෙබ් අඩවියක පළ කර තිබුණු දැන්වීමකට අනුව ජාතික තව්හිත් ජමාල් සංවිධානයේ අරමුදල් යොදා මසකට රුපියල් 45000ක කුලියකට ඔවුන් කුලියට ගෙන ඇත්තේ වසරක කාලයකටය. මාස හයක අත්තිකාරමක් එකවර ගෙවමින් පසුගිය පෙබරවාරි මාසයේදී නිවස කුලියට ගෙන ඇති මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් පෙනී සිට ඇත්තේ කොළඹ පිටකොටුවේ පාවහන් වෙළඳසලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු ලෙසිනි.