ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ සූදානම ශක්තිමත් කිරීමේ අරමුණින්, විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා ඇමෙරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි ආපදා සැපයුම් තොගයක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.
මෙම සැපයුම් තොගය සැප්තැම්බර් 11 වැනිදා කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, UNFPA මෙන්ම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන්හි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී භාර දී ඇත.
මෙම සැපයුම් අතර ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් කූඩාරම් අටක්, ඉන් තුනක් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආලෝක පද්ධති සහිතව, වින්නඹු සේවා නිලධාරිනියන් සඳහා හදිසි භාවිත බෑග් 999ක්, මාතෘ කට්ටල 1,283ක්, වැඩිහිටි කට්ටල 246ක් සහ ගෞරවය සුරැකීමේ කට්ටල 1,659ක් ඇතුළත් වේ.
UNFPA සඳහන් කළේ හදිසි අවස්ථාවලදී මාතෘ සහ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා තාවකාලික ස්ථාන ලෙස භාවිත කිරීම සඳහා මෙම කූඩාරම් ලබාදෙන බවයි.
වින්නඹු සේවා හදිසි භාවිත බෑග්වල මහජන සෞඛ්‍ය වින්නඹු සේවා නිලධාරිනියන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළත් වන අතර, මාතෘ කට්ටලවල ආරක්ෂිත දරු ප්‍රසූතියක් සහ අලුත උපන් බිළිඳුන් රැකබලා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් වේ.
වැඩිහිටි කට්ටල සහ ගෞරවය සුරැකීමේ කට්ටල මගින් සනීපාරක්ෂාව, සංචලනය සහ මාසික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම අරමුණු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය යටතේ ආපදා අවදානමට ලක්විය හැකි දිස්ත්‍රික්කවල මෙම සැපයුම් තොග කල්තියා ස්ථානගත කිරීමට නියමිතය.
මාර්ග හානිවීම ඇතුළු විවිධ බාධා හේතුවෙන් ආපදා අවස්ථාවක සැපයුම් ප්‍රවාහනය ප්‍රමාද විය හැකි බැවින්, පෙරමුණේ සිටින සහන සේවා නිලධාරීන්ට එම සැපයුම් කඩිනමින් ලබාගැනීමට හැකිවීම මෙහි අරමුණ බව සඳහන් වේ.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙම වැඩසටහන මගින් ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශයේ සූදානම ශක්තිමත් කිරීමටත්, හදිසි අවස්ථාවලදී මාතෘ සහ ළමා සෞඛ්‍ය හා ආරක්ෂණ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමටත් හැකි වන බවයි.
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආපදා ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහාය වීම මෙම ආධාරයේ අරමුණ බවයි.
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් රූත් බෙයාර්ඩ් මහත්මිය පැවසුවේ මෙම ආධාරය ශ්‍රී ලංකාවේ ආපදා සූදානම් කිරීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ පද්ධති ශක්තිමත් කිරීමට සහාය වන බවයි.
ශ්‍රී ලංකාවේ UNFPA වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංග්යෙල් මහතා පැවසුවේ හදිසි අවස්ථාවලදී කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා මෙන්ම ආරක්ෂණ ක්‍රියාමාර්ග අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම මෙම සැපයුම් ලබාදීමේ අරමුණ බවයි.
ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ආපදා සූදානම් කිරීමේ සහ ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා UNFPA සිදුකරන වැඩසටහන්වල කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවද UNFPA සඳහන් කළේය.


