ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාගමක් වශයෙන් ලියාපදිංචි කර පිහිටුවා ඇති ක්‍රිකට් ඒඩ් හි ගිණුම් පරීක්ෂා කර බලා විගණනයක් සිදුකරන තුරු එහි මෙහෙයුම් අත්හිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට නියෝග කළේය.
ක්‍රිකට් ඒඩ්හි 2016 වසරේ සිට මේ දක්වා සියලු ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට බලය පැවරීමට ද කෝප් කමිටුව තීරණය කළේය.
එම ආයතනයේ විගණනයක් සිදු කර මාස දෙකක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විගණකාධිපතිවරයාට දැනුම් දුන්නේය.
සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටී අවස්ථාවේදීය.
එමෙන්ම ක්‍රිකට් ඒඩ් ආයතනයට 2016 වසරේ සිට මේ දක්වා ලැබුණු ආදායම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්, ක්‍රිකට් ඒඩ් සංවිධානය වෙත ලබාදී ඇති මුදල් ප්‍රමාණයන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අනුග්රහක භවතුන් විසින් ලබාදී ඇති මුදල් මෙම ආයතනට ලබාදී තිබේද?, ක්‍රිකට් ඒඩ් සංවිධානයේ අපේක්ෂිත අරමුණ වෙනුවෙන් කෙතරම් මුදල් ප්‍රමාණයක් වියදම් කර තිබේද? ආදිය ඇතුළත්ව සවිස්තර වාර්තාවක් කෝප් කමිටුව වෙත ලබාදෙන ලෙසද කෝප් සභාපති ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.