ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාව ගොඩනැගීම සඳහා ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය කළ අමිල මෙහෙවර සහ කලාව හරහා ජනතාව එකට බැඳ තැබීමට ඇය සතු වූ හැකියාව අගය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
“ජාතියක සංස්කෘතික මතකය හැඩගැසෙන්නේ ඉතිහාස පොත්වලින් පමණක් නොව, ජනතාවගේ හදවත් තුළ ජීවමාන වන නිර්මාණ, හඬ සහ මතකයන් මගිනුයි,” යැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පළ කළේ ජූලි 28 වැනිදා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුණිදාස මැදිරියේ පැවති “ආචාර්ය සුජාතා අත්තනායක ප්රණාම” විශේෂ උපහාර උළෙලට එක්වෙමිනි.
දිගුකාලීන වටිනාකමක් ඇති කලා නිර්මාණ බිහි කරන කලාකරුවන් ජාතියක සංස්කෘතික අනන්‍යතාවයේ නිර්මාණ ශිල්පීන් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
එමෙන්ම බෙදීම් හෝ කොන් කිරීම් තුළින් සදාකාලික වටිනාකමක් ඇති කලා කෘති බිහි නොවන බවද ඇය අවධාරණය කළාය.
“ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය සිය ජීවිතය, කලාව සහ මානුෂීය ගුණාංග තුළින් සංස්කෘතිය ඔස්සේ ජනතාව එකට ගෙන ආ හැකි බලය අපට පෙන්වා දී තිබෙනවා,” යැයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.


