රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස කඩදාසි රහිත රේගු ප්‍රකාශන සැකසුම් ක්‍රමයක් (Paperless Customs Declaration Processing System) ඔක්තෝබර් 1 වැනිදා සිට හඳුන්වාදීමට නියමිත බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ SEMA ගොඩනැගිලි ශ්‍රවණාගාරයේ පැවති ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
ඩිජිටල් පරිවර්තනය ශ්‍රී ලංකාව ගෝලීය ක්‍රමවේදයන් සමඟ ගැළපීමට අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම්වරයා පැවසීය. නව ක්‍රමය මගින් රේගු නිෂ්කාශන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ වේගවත් වන අතර, ආනයනකරුවන්ට සහ අපනයනකරුවන්ට වැඩි පහසුවක් සැලසෙන බවද ඔහු සඳහන් කළේය.
ඩිජිටල් අත්සන් කිරීමෙන් පසු ලේඛනවල සිදුකරන වෙනස්කම් හඳුනාගැනීමට මෙම ක්‍රමය හැකි වන බැවින් වංචා සහ දූෂණ වැළැක්වීමට ද එය උපකාරී වන බව කුමනායක මහතා පැවසීය.
එමෙන්ම ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත ක්‍රමය හඳුන්වාදීම හේතුවෙන් රැකියා අහිමිවීම් සිදු නොවන බවට ජනාධිපති ලේකම්වරයා සහතික වූ අතර, කාර්යයේ ස්වභාවය වෙනස් විය හැකි නමුත් රේගු නිෂ්කාශන නියෝජිතයන්ගේ රැකියා ආරක්ෂා කරන බවද පැවසීය.
LankaSign ඩිජිටල් අත්සන් ක්‍රමය Automated System for Customs Data (ASYCUDA) පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම හරහා සියලුම රේගු ලේඛන ආරක්ෂිත සහ නීත්‍යානුකූල ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත.
ඔක්තෝබර් 1 වැනිදා සිට මෙම පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහාය අත්‍යවශ්‍ය බවද කුමනායක මහතා අවධාරණය කළේය.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී LankaSign සහ ASYCUDA ඒකාබද්ධ කිරීම හරහා රේගු ලේඛන විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය, එහි ප්රතිලාභ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද පිළිබඳ විස්තරාත්මක පැහැදිලි කිරීම් ලබා දෙන ලදී.
රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ (RARMB) අධ්යක්ෂ W.L.C. තිලකසිරි සහ LankaSign ජ්‍යෙෂ්ඨ කළමනාකරු නාලක විජේනායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව අදහස් දැක්වූහ.

