එල් නිනෝ බලපෑමත් සමඟ මහ කන්නයට දැඩි අවදානමක්: ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්

එල් නිනෝ තත්ත්වය තවදුරටත් තීව්‍ර වීම, ඉහළ යන ඉන්ධන හා පොහොර මිල සහ ඉදිරි මහ කන්නයේදී අධික වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකාව ඉහළ අවදානමකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නව වාර්තාවක් පෙන්වා දෙයි.

ආසියා-පැසිෆික් කලාපය පිළිබඳ සිදු කළ මෙම ඇගයීමේදී ශ්‍රී ලංකාව “ඉහළ අවධානයක් අවශ්‍ය රටවල්” අතරට ඇතුළත් කර තිබේ.

දෙවන අන්තර් මෝසම් කාලය ආරම්භ වන ඔක්තෝබර් මාසයේ සිට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව වාර්තාව සඳහන් කරයි.

වැඩි වර්ෂාවක් ලැබීමෙන් ජලාශවල ජල මට්ටම් යථා තත්ත්වයට පත් කිරීමට සහ ජල සම්පත් වැඩි කිරීමට හැකි වුවද, මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කරන කාලයේ අධික වර්ෂාපතනයක් ලැබුණහොත් ගංවතුර, ජලය රැඳීම සහ වගා කටයුතු ප්‍රමාද වීම වැනි ගැටලු ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

එමෙන්ම ඉහළ ඉන්ධන සහ පොහොර මිල ගණන් හේතුවෙන් ආහාර නිෂ්පාදනයට ඇති බලපෑම තවදුරටත් තීව්‍ර විය හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.

වාර්තාවට අනුව, මැදපෙරදිග අර්බුදයට පෙර පැවති මිල මට්ටම් හා සැසඳීමේදී ඩීසල් මිල සියයට 44කින් පමණත්, පෙට්‍රල් මිල සියයට 41කින් පමණත් ඉහළ මට්ටමක පවතී.

ශ්‍රී ලංකාව ආනයනික පොහොර සහ ජාත්‍යන්තර තිරිඟු මිල ගණන් මත තවදුරටත් රඳා පවතින බැවින්, ගෝලීය වෙළෙඳපොළේ සිදුවන මිල වෙනස්කම් දේශීය ආහාර නිෂ්පාදනයට බලපෑම් කළ හැකි බවද එහි සඳහන් වේ.

මෙම වාර්තාව FAO, WFP, UN Women, WMO සහ එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සපයන ආයතන එක්ව සකස් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *