ඉල් පුරපසළොස්වක පොහොය අදයි

මීට වසර 2603 කට පෙර ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ධර්ම ප්‍රචාරය සඳහා ප්‍රථම රහතන් වහන්සේලා හැටනම දඹදිව් තලය සිසාරා පිටත් කොට වදාළ ඉල් පුරපසලොස්වක පොහොය දිනය අදට(12) යෙදී තිබේ.

ලෝකවාසී බෞද්ධ ජනයාගේ සිත් සතන් සුපහන් කරවන ශාසනික වශයෙන් අනුස්මරණීය වූ සිදුවීම් කිහිපයක් ම ඉල් පුන් පොහොය දිනයේදී සිදුවී ඇත. මෙම ඉල් පුන් පොහොය උදාවත්ම වස්සාන ඍතුව අවසන් වන අතර එකම ස්ථානයක දී දහසක් භික්ෂූන් අරහත්වයට පත් කරවූ තුන්බෑ ජටිල පිරිස දමනය කිරීම පිණිස අනුත්තර පුරිසදම්ම සාරථී වූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගමන් ඇරඹීම සිදු වුයේද ඉල් මස පෝය දිනයකදීය.

පසුවස් සමාදන් වූ භික්ෂූන්ගේ පවාරණ දිනයත් මෙම ඉල් පොහොය දිනයට යෙදී තිබේ. කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසන් දිනය හෙවත් චීවර මාසයේ අවසාන දිනයත් ඉල් පොහොය දිනයයි. එමෙන්ම මේ මහා භද්‍ර කල්පයේ මතු බුදු බව ලබන මෛත්‍රීය මහ බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජුන්ගෙන් නියත විවරණ ලැබූ දිනය ලෙස සඳහන් වන්නේත් ඉල් පුර පසළොස්වක් පොහෝ දිනයයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *