අධ්‍යාපනය, සංස්කෘතිය, කෘෂිකර්මාන්තය, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්රවල ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති 13ක් සඳහා රුපියල් මිලියන 21කට ආසන්න මුදලක් ලබාදීමට ඉන්දු-ශ්‍රී ලංකා පදනම (ISLF) අනුමැතිය ලබාදී තිබේ.
අගෝස්තු 28 වැනිදා නවදිල්ලියේදී පැවති පදනමේ 41 වැනි අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදී ඇති අතර, එම රැස්වීම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි.
කොළඹ ලේකම් කාර්යාලයට ව්‍යාපෘති යෝජනා 500කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති අතර, ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව යෝජනා 137ක් කෙටි ලැයිස්තුගත කර තිබේ. ඉන් යෝජනා 20ක් අධ්යක්ෂ මණ්ඩලයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කර ඇති අතර, එයින් ව්‍යාපෘති 13ක් සඳහා අනුමැතිය හිමිව තිබේ.
දෙරටේම පදනමේ ක්‍රියාකාරකම් සඳහා මහජන උනන්දුව ඉහළ යමින් පවතින බවද අධ්යක්ෂ මණ්ඩලය අවධානයට ගෙන තිබේ.
මූල්‍ය සීමාවන් හේතුවෙන් රැස්වීමට පෙර විධිමත් ව්‍යාපෘති යෝජනා කැඳවීමක් සිදුකර නොතිබුණද, නවදිල්ලි ලේකම් කාර්යාලයට ඉන්දීය පුරවැසියන්ගෙන් පමණක් යෝජනා 149ක් ලැබී තිබේ.
මෙම පසුබිම තුළ පදනමේ මූල්‍ය හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අධ්යක්ෂ මණ්ඩලය අවධාරණය කර තිබේ.
පදනමේ අරමුදල පුළුල් කිරීම මඟින් තවත් ව්‍යාපෘති සඳහා සහාය ලබාදීමටත්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජනතාව අතර සබඳතා සහ හුවමාරු අවස්ථා තවදුරටත් පුළුල් කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බව එහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් අතර 1998 වසරේදී ඇතිකරගත් ගිවිසුමක් මත පිහිටුවන ලද මෙම පදනම, ආර්ථික, විද්‍යාත්මක, අධ්‍යාපනික, තාක්ෂණික සහ සංස්කෘතික සහයෝගීතාව හරහා දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කරයි.
එමෙන්ම සිසුන්, ශාස්ත්‍රඥයන්, පර්යේෂකයන්, වෘත්තිකයන් සහ කලාකරුවන් සම්බන්ධ හුවමාරු වැඩසටහන් සඳහාද පදනම සහාය ලබාදෙයි.
අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රසාද් කාරියවසම්, මෝහන් කුමාර් සහ අශෝක් මලික් යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගි වූහ.


