ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්රීඩක ප්රග්යාන් ඕජා එරට පිරිමි ක්රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ඔහු එම ධුරයට පත්වන්නේ අජිත් අගාර්කර් වෙනුවටය. ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය (BCCI) මේ බව ඔක්තෝබර් 19 වැනිදා නිවේදනය කළේය.
එමෙන්ම, ඉන්දීය හිටපු දඟ පන්දු යවන ක්රීඩක රමේෂ් පවර් ද තේරීම් කමිටුවට පත් කළ බව BCCI තහවුරු කළේය. මෙම පත්වීම් සිදු කර ඇත්තේ එහි ක්රිකට් උපදේශක කමිටුව විසින් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුවය.
ටෙස්ට් තරග ක්රීඩා කර ඇති සංඛ්යාව අනුව තීරණය කරන ජ්යෙෂ්ඨත්වය මත ඕජා සාමාජිකයන් පස්දෙනෙකුගෙන් සමන්විත තේරීම් කමිටුවේ සභාපතිත්වය දරනු ඇත.
නව තේරීම් කමිටුවට ප්රග්යාන් ඕජා (සභාපති), ශිව් සුන්දර් දාස්, ආර්.පී. සිං, අජේ රාත්රා සහ රමේෂ් පවර් ඇතුළත් වෙති.
පවර් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්යන්තර තරග 31කට ක්රීඩා කර තිබේ. ඔහු මීට පෙර ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.
මේ අතර, 2023 ජූලි මාසයේ සිට ප්රධාන තේරීම්කරු ලෙස කටයුතු කළ අජිත් අගාර්කර්ගේ සේවය අගය කරමින් BCCI ඔහුට ස්තුතිය පළ කළේය. ඔහුගේ ධුර කාලය තුළ ඉන්දියාව ICC කුසලාන තුනක්, ආසියානු කුසලාන ශූරතා දෙකක් සහ අඛණ්ඩව පැවති ආසියානු ක්රීඩා උළෙල දෙකක රන් පදක්කම් දිනාගැනීමද එහිදී විශේෂයෙන් සඳහන් කර තිබේ.


