ඉන්දියාව – ශ්‍රී ලංකාව අතර මගී බෝට්ටු සේවාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී බෝට්ටු සේවාවක් නුදුරේදීම ආරම්භ කිරීමේ යෝජනාවක් ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස් කර ඇත.

මෙම සේවාව ඉදිරි මාස තුන හතර ඇතුළත ආරම්භ කරන බව ඉන්දීය නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මන්සුක් මන්දාවියා මහතා ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ කරෛයිකාල් සිට යාපනය දක්වා නාවික සැතපුම් 56ක් හෙවත් කිලෝමීටර් 103.7ක පමණ දුරක් ආවරණය කරමින් බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම දුර ගමන් කිරීමට පැය 3ක පමණ කාලයක් ගත වේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වන්දනා චාරිකා සදහා ඉන්දියාවට පැමිණේ. එසේම බොහෝ ශ්‍රී ලාංකිකයන් බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සදහා ඉන්දියාවට පැමිණෙනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන්ට සහන සැලසීමට මෙමඟින් හැකිවන අතර සංචාරක කර්මාන්තය වර්ධනයට ද එය බලපාන බව ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙය සංචාරක ව්‍යාපාරයට දිරිගැන්වීමක් පමණක් නොව දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ද වැඩිදියුණු කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *