ඉතියෝපියාවේ මිනිස් ජාවාරම්කරුවන්ගෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් තිදෙනා සම්බන්ධ සියලුම අධිකරණ ක්‍රියාමාර්ග සහ කොන්සියුලර් කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව අඩිස් අබාබාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
බේරා ගැනීමේ මෙහෙයුමෙන් අනතුරුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අවසන් කිරීම සඳහා තානාපති කාර්යාලය ඉතියෝපියානු බලධාරීන් සමඟ සමීපව කටයුතු කළ බව සඳහන් කර තිබේ.
එහිදී ඉතියෝපියාවේ ආගමන හා පුරවැසි සේවා ආයතනය (ICS) විසින් අදාළ ලාංකිකයන් රඳවාගෙන සිටි කාලය සහ ඉන් අනතුරුව සිදු වූ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් පැන නැගුණු වීසා කාලය ඉක්මවා රැඳී සිටීමේ දඩ මුදල් සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම කටයුතු අවසන් කිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඉතියෝපියානු රජයට, එරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අධිකරණය සහ ආගමන බලධාරීන්ට තානාපති කාර්යාලය සිය ස්තූතිය පළ කර තිබේ. ඉතියෝපියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ලබාදුන් සහයද තානාපති කාර්යාලය අගය කර ඇත.
අප්‍රිකානු රටවල් හරහා යුරෝපයට හෝ උතුරු ඇමරිකාවට ළඟාවීම සඳහා නීත්‍යානුකූල නොවන සංක්‍රමණ මාර්ග භාවිත නොකරන ලෙස තානාපති කාර්යාලය යළිත් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබේ.
මිනිස් ජාවාරම, සූරාකෑම සහ නීතිමය ප්‍රතිවිපාකවලට ගොදුරු වීමේ අවදානම එවැනි නීති විරෝධී සංක්‍රමණ මාර්ග හරහා ගමන් කිරීමේදී පවතින බවද තානාපති කාර්යාලය අවධාරණය කර ඇත.


